තෙවන පරිච්ජේදය
අනුරාධපුර යුගයේදී සමාජය සමඟ සම්බන්ධ වූ වැල් වර්ග
අනුරාධපුර යුගය යයි සළකන කාලසීමාව තුළ සිට වංසකථා අධ්‍යයනයේදී සමාජය සමඟ සම්බන්ධ වූ වැල් වර්ග ලෙස හඳුනා ගන්නා ශාක හමු වන්නේ වර්ග කිහිපයක් පමණි. එහෙත් මෙම වැල් අතරින් ඉතා විශේෂිත වූ තොරතුරු රාශියක් ගොනු කර ගත හැක.
මහාවංසය දක්වන ආකාරයට ආමණ්ඩගාමිණීඅභය රජු විසින් ගෙඩි හට ගන්නා සියළු වැල් වර්ග තැන් තැන්හි සිටුවා ඒවායේ ගෙඩි එක්කර මස්කොමඩු නම් දානයක් පූජා කර ඇත.1 වංසත්ථප්පකාසිනීය මෙම අවස්ථාව සවිස්තරව දක්වන විට දක්වා ඇත්තේ ලබු පුහුල් ආදී සියලු ඵල වැල් තැන් තැන්හි රෝපණය කරවූ බව ය . එමෙන් ම මස්කොමඩු නම් දානය කැකිරි පූජා කිරීමක් ද යන්න සැකසහිතව එහි දක්වා ඇත.2 මේ ආකාරයෙන් මේ රජු පාත්‍රය පුරවා දන් දුන් හෙයින් ආමණ්ඩගාමිණීඅභය ලෙස ද නම් කර ඇත. මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී ශාක ගණයෙහිලා සැලකෙන වැල් වර්ග පිළිබඳව ද සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වූ බව ය . එහිදී ඵල හට ගන්නා වැල් වර්ග කෙරෙහි මූලික අවධානය යොමු කළ බව පෙනී යයි.
ආමණ්ඩගාමිණීඅභය රජු සිටවූ වැල් වර්ග අතර පුහුල් යන වැල් වර්ගය ද වූ බව ඉහත සඳහන් විය. පුහුල් සාමාන්‍යයෙන් අළු පුහුල් ලෙස ද හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. එම ග්‍රන්ථයට අනුව පුහුල් යන වැල් වර්ගය ‘Benincasa hispida (Thunb.) Cogn.’ 3 යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා අතර එය ‘Cucurbitaceae’ කුලයට අයත් ය . එමෙන් ම එය හිංදි භාෂාවේදී ‘පෙඨා, හතුආ, කෝංහරා’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘ජාංකුම්රා, වාල්කුම්රා’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘කල්‍යාණපුසිතී, පුශතිකායි’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘White pumpkin, White Gourd Melon’ ලෙස ද සංස්කෘත භාෂාවේදී ‘කුෂ්මාණ්ඩ, කුෂ්මාණ්ඩකී’ ආදී තවත් නම් රාශියකින් හඳුනා ගනී. මෙහිදී කොමඩු ද පුහුල් විශේෂයක් ලෙස හඳුන්වාදී ඇත.4 එහෙත් සාරාර්ථ සංග්‍රහයේදී ‘කොමඩුපුහුල්’ නම් පුහුල් විශේෂයක් ඇති බව දක්වයි. එම ග්‍රන්ථයේ ටිප්පනණීයේදී මෙම පුහුල් වර්ගය ‘Cucurbitaceae’5 යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා දෙන බව ද සාරාර්ථ සංග්‍රහයේ වේ. එමෙන් ම එහි අළු පුහුල්වලට අමතරව රටපුහුල් නමින් පුහුල් වර්ගයක් දක්වා ඇති අතර මෙම පුහුල් වර්ගය වට්ටක්කා නම් වන බව ද දක්වයි. 6 පුහුල් නමින් හඳුනා ගන්නා මෙම වැල් වර්ගය ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සියළු ප්‍රදේශන්හි වැවෙන අතර විශේෂයෙන් වියළි කළාපවල වැවෙන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. එමෙන් ම එම ශාකයේ ජන්ම භූමිය ජපානය හා ජාවා දූපත් බව එම ග්‍රන්ථයේ වේ. 7
ආමණ්ඩගාමිණීඅභය රජු විසින් සිදුකළ මස්කොමඩු නම් දානය කැකිරි පූජා කිරීමක් ද යන්න වංසත්ථප්පකාසිනීය සැක සහිතව දක්වා ඇති බව ඉහත සඳහන් විය. කැකිරි නම් මෙම වැල් වර්ගය ‘Cucumis Melo Linn.’ 8 යන විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා අතර මෙය ‘Cucurbitaceae’ යන කුලයට අයත් බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. එයට අනුව මෙම ශාකය හිංදි භාෂාවේදී ‘කක්රි’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘කාංකුර්, කාක්රි’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘වේලපම්’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Cucumber’ ලෙස ද සංස්කෘතයේදී ‘කර්කටී, ඵල්වාරු, උර්වාරු’ ලෙස ද හඳුනාගනී.9 තව ද මෙම වැල් වර්ගයෙහි ප්‍රභේද කිහිපයක් ඇති අතර ඒවායින් හීන් (හේන්) හෙවත් ඇඹුල් කැකිරි, තිත්ත කැකිරි, සීනි කැකිරි (පිටි) කැකිරි, ගොන් කැකිරි යන හතර ප්‍රධාන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ තෙවන කොටසෙහි සඳහන් ය .10
‘ලබු වැල්’ ලෙස හඳුනාගන්නා වැල් වර්ගය පිළිබඳව පණ්ඩුකාභය රජ සමයෙන් තොරතුරු හමු වේ. පණ්ඩුකාභය කුමරු තම මාමාවරුන් 8 දෙනා මරා දමා ඔවුන් ගේ හිස් රැස් කළ විට ඒවා ලබු රැසක් ලෙස දිස් වූයේ යයි මහාවංසයේ සඳහන් ය . ලබු රැස පාලි මහාවංසය දක්වා ඇත්තේ ‘ලබුරාසී’ ලෙස ය . 11 මේ හේතුවෙන් මෙම ප්‍රදේශය පසුව ලබු ගම ලෙස ප්‍රසිද්ධ වූ බව මහාවංසය දක්වයි.12 ලබු කෘෂිකාර්මික භෝගයක් වශයෙන් වගා කරන වැල් වර්ගයකි. මෙයින් පෙනී යන්නේ පණ්ඩුකාභය රජ සමයේදී ලබු වැල් ආහාර සඳහා වගා කළ බව ය . ලබු පිළිබඳව සාරාර්ථ සංග්‍රහයේ සඳහන් වීමෙන් අනුරාධපුර යුගයේ ලබු භාවිතය සිදු වූ බව නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. මෙම ග්‍රන්ථයට අනුව ලබු වර්ග තුනකි. ඒවා නම් දිය ලබු, සුදු ලබු, තිත්ත ලබු ය . එමෙන් ම එම ග්‍රන්ථයේදී පොදුවේ ලබු ‘තුම්බිකා, තම්බී, තුම්බි’ ලෙස හඳුනාගන්නා බව දක්වා ඇත. තව ද එහි ලබුවල ගුණ පිළිබඳව ද ඒවා මුල් කරගෙන සිදු කරණආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව ද සඳහන් වීමෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට ලබු නම් වැල් වර්ගය පිළිබඳව ජනයා ඉතා හොඳ අවබෝධයකින් සිටි බව ය .13
වංසකථාතුලින් හමුවන තවත් වැල් වර්ගයකි හිය වැල්. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය ඉදිකිරීමට සූදානම් වන විට ස්ථූපය ඉදිකළ යුතු තැන හිඟුරු වැල් හා හිය වැල්වලින් වැසී ගොස් ඇත.14 පාලි මහාවංසය හිය වැල් හඳුන්වා දෙන්නේ ‘ආදරවල්ලී’ ලෙස ය . වංසත්ථප්පකාසිනීය ආදරවල්ලී නම් වැල් වර්ගය ‘ආදරී’ නම් වැල් ලෙස හා හිය වැල් ලෙස හඳුන්වන බවත් පෙන්වා දේ.15 එහෙත් ප්‍රාථමික මූලාශ්‍රය දක්වන මෙම නාමයන් භාවිතයෙන් හිය වැල් යනු කිනම් වැල් වර්ගයක් ද යන්න හඳුනාගත නොහැක. පාළි මහාවංසය හිඟුරු නම් වැල් වර්ගය ‘කදම්බපුප්ඵවල්ලි’ ලෙස දක්වා ඇත.16වංසත්ථප්පකාසිනීය මෙම වැල් වර්ගය දක්වන්නේ ‘කොළොම්මල්වැල්’ හෙවත් ‘කීර’ නම් වැල් විශේෂයක් ලෙස ය .17 ඖෂධ නාම සංග්‍රහයේදී ද ‘කදම්බ පුෂ්පි හා කදම්බ’ ලෙස හඳුන්වන්නේ හිඟුරු වැල් බව දක්වා ඇත.18 ථූපාරාමය ඉදිකරණ අවස්ථාවේදී මෙන් ම තවත් අවස්ථා කිහිපයකදී ම මෙම හිඟුරු වැල් පිළිබඳව වංසකථාතොරතුරු ඉදිරිපත් කරණ බව පෙනී යයි. ඒ අනුව මෙම වැල් වර්ගය පිළිබඳව නැවත ද්වානම්පියතිස්ස රජ සමයෙන් තොරතුරු හමු වේ. දේවානම්පියතිස්ස රජුගේ මඟුල් ඇතු හිඟුරු වැල් ළැහැබක ගොදුරු කමින් සිටිනු දැක රජු එහි ඇත්හලක් කරවා ඇත. දිනක් මෙම ඇතු ආහාර ප්‍රතික්ෂේප කරනු දැක රජු විසින් මිහිඳු හිමි ගෙන් ඇතාගේ සිත් විමසා ඇත. එවිට මෙම ස්ථානයේ ඇතා ධාතු සහිත චෛත්‍යයක් කරවීමට කැමැත්තෙන් සිටින බව මිහිඳු හිමි පවසා ඇත. ඒ අනුව පසුව මෙහි සංඝමිත්ත්‍රා මෙහෙනින් ආදී මෙහෙනින් වහන්සේලාගේ අවශ්‍යතා පරිදි ‘හත්ථාළිහක විහාරය’ ඉදිකර ඇත.19 ථූපාරාමය ඉදිකිරීමට ප්‍රථම එම ස්ථානය හිඟුරු වැල්වලින් වැසී ගිය බව ඉහතදී සඳහන් විය. සිංහල බෝධිවංසය ද සිඟුරු වැල් ඇති ස්ථානයක දේවානම්පියතිස්ස රජු විසින් ථූපාරාම චෛත්‍ය ඉදිකරණ ලද බව සඳහන් කරයි.20 මෙම අවස්ථාවේදී ද මහාවංසය හිඟුරු වැල් ගොමුව ලෙස දක්වා ඇති වැල් වර්ගය වංසත්ථප්පකාසිනීය දක්වන්නේ කොළොම් මල් ගොමුවක් ලෙස ය .21 එළාර දුටුගැමුණු සටන්විස්තරයේදී මහේල නුවර බලකොටුව පිළිබඳව විස්තර කරන මහාවංස කතුවරයා දක්වන්නේ එම නුවරට පිවිසීමට අපහසු බවත් එහි පිවිසීමට හිඟුරු වැලින් හාත්පස වෙලන ලද්දා වූ එක් දොරටුවක් ඇති බවත් ය .22
තව ද ශුභ රජුගේ දියණිය රජු මළ පසුව වඩුවකුගේ නිවසේ වසන අතර තුර හිඟුරු වන ලැහැබක නිරෝධසමාපත්තියට සමවැදුන තෙරකෙනෙකුන්ට දන්දී ඇත.23 මෙම අවස්ථාවේදී ද මහාවංසය හිඟුරු වැල් ලෙස දක්වන වැල් වර්ගය වංසත්ථප්පකාසිනීය දක්වන්නේ කොළොම් මල් ගොමුවක් ලෙස ය .24 එමෙන් ම ගජබා රජු මව් බිසවගේ බස් අසා මව් බිසවුන් පිණිස හිඟුරු වැල් ලැහැබක් ඇති තැනක ‘රාජමාතු’ නම් විහාරය කරවූ බව වේ.25
මෙම වැල් වර්ග අතර ඖෂධීය වටිනාකමින් යුත් වැල් වර්ගයක් ද හමු වේ. එය ‘වැල්මී’ නමි. කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධර මහා භික්ෂු සංඝයා හට වැල්මී දැහැටි ආදී බොහෝ දේ පිළිගන්වා ඇත.26 දුටුගැමුණු රජු රටේ තැන තැන විහාරයන්හි ධර්ම දේශකයන්ට සත්කාර කර දහම් දෙස්වා ඇති අතර ධර්ම කථික එක් එක් නමකට විවිධ දේ ප්‍රධානය කර ඇත. මෙම ද්‍රව්‍යන් අතර සතරගුල් දික් වැල් මී මිටි ද තිබී ඇත.27 මේ බව පූජාවලියේ හා සිංහල ථූපවංසයේ ද සඳහන් ය28 පාළි මහාවංසය මිටක් පමණ වැල් මී දක්වා ඇත්තේ ‘මුට්ඨිකංයට්ඨිමධුකං’ ලෙස ය .29 මිහිරි කඳක් හා මුල් ඇති නිසා ‘යෂ්ටී මධු, යෂ්ටීමධුක’ යන නම් දෙක මෙම වැල් හැඳින්වීම සඳහා භාවිතා වේ.30 දිය වැල්මී නමින් වැල් වර්ගයක් තිබෙන බවත් ඒවා දැන් ඉන්දියාවේ පවා හිඟ බවත් ජලයෙහි හටගන්නා වැල්මී නම් වර්ගයක් ඇති බව ජන විශ්වාසයේ වුව ද එවන් දෙයක් නැති බව පොන්නම්පෙරුම මහතා පෙන්වා දේ.31
මෙහිදී ප්‍රථමයෙන්ම වැල් මී ගසක්ද වැලක්ද යන්න හඳුනා ගැනීම වටී. වෛද්‍ය ඩී ඇම් ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ වැල් මී යනු අඩි හතරක් පහක් උසට වැවෙන බුහුවාර්ෂික පඳුරක් ලෙසය.32 මෙහි මුලින් මෙන් ම කඳින් ද අතු විහිදේ. මුල් දිග ය . කහපාට ය . සමහර පඳුරුවල මුල් රතුපාට ය . මල් මදක් රෝස පාට ය . කරල් අඟලක් පමණ දිග ය පැතලිය.33 ‘Glycyrrhiza Glabra Linn’ 34 යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා වැල් මී ශාකය ‘Leguminosae’ 35 යන කුලයට අයත් බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. මෙය සිංහල භාෂාවේදී ‘යෂධිමධු, මධුයෂ්ටි, මධුවල්ලි’ ආදී නම් රාශියකින් හඳුනාගන්නා අතර හිංදි භාෂාවේදී ‘මුලේධී, මුල්හටී’ ලෙස ද බෙංගාගි භාෂාවේදී ‘යෂ්ඨිමධු’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘අධිමධුරම්, අතිමධුරම්, අදිමදුරම්’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Liquorice’ ලෙස ද හඳුනා ගන්නා බව එම ග්‍රන්ථය දක්වයි. ආයුර්වේදයේදී මෙය විවිධ සාධක අනුව ප්‍රභේද කරන ආකාරය එහි වේ. ඒ අනුව මිසර දේශජාතික, අරාබිදේශජාතික, තර්කිදේශජාතික යන ලෙස උප්පත්තිය අනුව වර්ග කරන ආකාරය දැකගත හැක.36 එමෙන් ම මෙම ශාකය දකුණු යුරෝපය, මිසරය, අරාබිය, ඉරානය, තුර්කිය, ඇෆ්ගනිස්ථානය ඉන්දියාව ලංකාව ආදී රටවල ව්‍යාප්තව ඇති බව එම ග්‍රන්ථයේ වේ.37
බුලත් නම් වූ වැල් වර්ගය ද මෙම කාලයේ ජනතාව ප්‍රයෝජනය උදෙසා යොදාගත් බව වංසකථා අධ්‍යයනයෙන් පෙනේ. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ පස්පලවතින් බුලත් සූදානම් කර ඇත. එනම් මෙදින ජනයාට වෙනත් ද්‍රව්‍ය කිහිපයක් සමඟ බුලත් සංග්‍රහ කර ඇති බව ය .38 දුටුගැමුණු රජතුමා රුවන්වැල්සෑය ඉදිකරණ දිනවලදී ද වාසල් දොරටුව අසල ජනයා වෙනුවෙන් පස්පලවතින් බුලත් තබ්බවා ඇත.39 රුවන්වැලිසෑයෙහි ධාතු නිදන් කරණ දින රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූයේ ය .40මෙයින් පෙනී යන්නනේ අනුරාධපුර යුගයේ මුල් අවධිය වන විට ජනයා බුලත් භාවිතයට හුරු වී සිටි බව ය . හමෙන් ම වසභ රජු රජ වීමට ප්‍රථම ශුභ රජ කල වසභ නැමැත්තෙක් රජ වන බව නිමිති කී අතර ශුභ රජ වසභ යන නාමය ඇති සියල්ලන් මැරවීමට උපායක් යොදවා ඇත.
මේ අවස්ථාවේදී රජුගේ සෙනෙවි කෙනෙක් තම බිරිය හා මන්ත්‍රණය කර තම නිවසේ වසන වසභ නැමැත්තා ව මැරවීමට බුලත්දී රජමාළිගයට යවා ඇත. එහෙත් සෙනෙවියාගේ බිරිය වසභ බේරීම උදෙසා එදින වසභ අත යවා ඇත්තේ සුනු නැති බුලත්විට ය . මේ හේතුවෙන් නැවත සුනු ගෙන ඒමට නිවසට පැමිණි වසභ ජීවිතය බේරා ගත් අතර පසුව වසභ නමින් රජ වී ය .41 පාළි මහාවංසය ‘තාම්බූලං’ ලෙස මෙහිදී බුලත් දක්වා ඇත.42 සිව්වන මිහිඳු රජු ගිලන් තවුසන් වෙත බුලත් ලබා දුන් බව මහාවංසයේ සඳහන් වේ.43 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී බුලත් සඳහා හොඳ පිළිගැනීමක් තිබූ බව ය .
නාග ලොවින් ගෙන ආ ශාකයක් ලෙස බුලත් නම් ශාකය සාමාන්‍ය ජනතාව හඳුනා ගනී. එම නිසාම ආහාරයට ගන්නාවිට බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කරන්නේ නයිවිස ඇත්නම් එය ඉවත් කළ යුතුය යන විශ්වාසය මත ය . එමෙන් ම මෙම බුලත් ශාකයට නම ලැබුණු ආකාරය ඖෂධීය ශාක සංග්‍රහයේ වේ. එයට අනුව සමහරු පවසන්නේ මහ පොළවට නාලොවින් ලැබුණු නිසා ‘බූ ලත්’ යන්න පසුව බුලත් බවට පත් වූ බව ය . තව ද පොළවෙහි වැඩෙන වැල් යන්න ‘බූ ලතා’ පසුව බුලත් වී යයි ද මතයක් වේ.44
මෙම බුලත් නම් වැල් වර්ගය "Piper betle L." 45 යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා අතර මෙය "Piperaceae" යන කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය දෙමළ භාෂවේදී ‘වෙත්තිලෙ’ ලෙසත් හින්දි භාෂාවේදී ‘පාන්’, නාගරවේල්’ ලෙසත් බෙංගාලි භාෂාවේදී ‘පාත්’ ලෙසත් ඉංග්‍රීසි භාෂාවේදී ‘Betal’ ලෙසත් සංස්කෘතයේදී ‘තාම්බුල’ ලෙසත් හඳුනා ගන්නා බව ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්ථය දක්වයි. එහි දක්වන ආකාරයට මෙම ශාකය වැවෙන්නේ දක්ෂිණ භාරතීය ප්‍රදේශයන්හි හා ලංකාවේ ය . එමෙන් ම අධික උෂ්ණ සහිත හා අධික ශීත ප්‍රදේශවල දුර්ලභ බව ද එහි වේ.
46 මෙම ශාකය වැවෙන ප්‍රදේශ අනුව ප්‍රභේද රාශියක් තිබුන ද මළ බුලත් හා බුලත් යන ප්‍රභේද දෙක ප්‍රධාන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. ලංකාවේ ගස් බුලත් නමින් ප්‍රසිද්ධ ප්‍රභේදයක් ඇති බවත් එය වගාකරන ආකාරය අනුව සිදුවන වෙනස්වීමක් බවත් එහි වේ.
සිව්වන මිහිඳු රජු ගම්මිරිස් පාංශූකූලික භික්ෂූන්ට පූජා කර ඇති බව මහාවංසයේ සඳහන් ය .47 "Piper Nigrum Linn". යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා ගම්බිරිස් නම් වැල් වර්ගය "Piperaceae" 48 යන කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය හිංදි භාෂාවේදී ‘කාලිමිර්ච්, ගෝලමිර්ච්, මරිච’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘ගොල්මරිච’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘මිලාගු, මොලගු’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Black pepper’ ලෙස ද සංස්කෘතයේදී ‘මරිච, පලිත, ශ්‍යාම’ ආදී නම් රාශියකින් ද හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. 49 එමෙන් ම එහි සඳහන් ආකාරයට ගම්බිරිස්වල ප්‍රභේද දෙකකි. ඒවා නම් කළු ගම්මිරිස් හා ඵල ගම්මිරිස් ය .
සිව්වන මිහිඳු රජු තිප්පිලි පාංශූකූලික භික්ෂූන්ට පූජා කර ඇති බව මහාවංසයේ සඳහන්ය. 50 Piper Longum Linn. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා තිප්පිලි නම් මෙම ශාකය PIPERACEAE යන කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය සිංහල භාෂවේදී තිප්පිලි ලෙස මෙන් ම වගපුල් ලෙස ද හිංදි භාෂාවේදී ‘පීපල්, පීපර්’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘පිපුල්’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘තිපිල්’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Long Peper’ ලෙස ද සංස්කෘතයේදී ‘පිප්පලි, මාගධි, කෘෂ්ණා’ ආදී නම් රාශියකින් හඳුනාගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. මෙම ශාකයේ ප්‍රභේද කිහිපයක් ඇති බව එම ග්‍රන්ථය සඳහන් කරයි. ඒවා නම් ‘පිප්පලී, ගජ පිප්පලී, සෛංහලී, වන පිප්පලී’ ය . ‘පිප්පලි’ ලෙස හඳුනාගන්නේ මගධය ආදී රටවලින් ගෙන්වන ‘තිප්පිලි’ වන අතර සිංගප්පූරුව ආදී වෙනත් රටවලින් ගෙන්වන තිප්පිලි ‘සෛංහලී’ ලෙස හඳුනා ගන්නා බව ද එහි වේ. එමෙන් ම එහි සඳහන් ආකාරයට මෙම වැල් වර්ගය ඉන්දියාව, පිලිපීනය, මලයාසියාව, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව ආදී රටවල වැවේ.51
දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුවෙන් සූදානම් කළ පාන වර්ග අතර අෂ්ටවිධ පානවර්ග ද තිබී ඇත. අෂ්ටවිධ පාන වර්ග අතරට මිදි මිරිකා ගත් බීම ද අයත් ය . මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ මෙම දිනයේදී රජු ජනයා වෙනුවෙන් මිදි මිරිකා සාදා ගත් බීම ද තබා ඇති බව ය .52
Premna integrfolia යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා මිදි ශාකය VERBENACEAE යන කුලයට අයත් ය . මෙය සංස්කෘතයේදී ‘අග්තිමන්ථ, ජයා’ ආදී නම් රාශියකින් ද බෙංගාලි භාෂාවේදී ‘ගණියාරි, අග්ගාස්ථ, භූතභෛරව’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘මුන්නායි, පශුමුන්නායි’ ලෙස ද හිංදි භාෂාවේදී ‘අරතී , ගණියාරි, අගේථු’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Grape’ ලෙස ද හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දකවයි. මෙයින් මුද්දරප්පලම් ද සාදා ගනී. මහාවංසයේ එන විස්තරයට අනුව පෙනී යන්නේ දුටුගැමුණු රජ සමය වන විට මෙරට මිදි නම් වැල් වර්ගය වගා කළ බවත් එයින් පාන වර්ග සාදා ගැනීමට පවා ජනයා එම ශාකය හොඳින් හඳුනාගෙන සිටි බවත් ය .