හැඳින්වීම

ආදි මානවයාගේ අවදියේ පටන් ම මානවයා පරිසරය සමඟ ඒකාබද්ධව ගොඩනැගුණි. මේ අනුව විටෙක ආදි මානවයා තමා වටා ඇති පරිසරය පාලනය කරමින් විටක එම පරිසරයට හැඩගැසෙමින් පරිසරය සමඟ ගනුදෙනු කරන්නට විය. එම පරිසර පද්ධතියේ ප්‍රධාන අංගයක් ලෙසින් ශාක මිනිසාගේ ජීවන ක්‍රියාවලියට සමීප විය. මිනිසුන්ගේ පෝෂණය උදෙසා ආහාර ලෙසින් ද, විළි වසාගැනීම උදෙසා වස්ත්‍ර ලෙසින් ද, රෝගවලට ප්‍රතිකාර උදෙසා ඖෂධ ලෙසින් ද, ඉන්ධන ලබා ගැනීම උදෙසා දර ලෙසින් ද, ශාක ආදි යුගයන්හිදී මිනිසාගේ ග්‍රහණයට ලක් විය. මුල් අවදියේදී ප්‍රායෝගිකව පරිසරය ඇසුරු කළ මානවයා පරිණත වන විට පරිසරය පිළිබඳව මෙන් ම ශාක පිළිබඳව ද පුළුල්ව ග්‍රහණය කරගත්තේ ය. මේ අනුව කාලානුරූපීව ශාක සමඟ ඇති මානවයාගේ බැඳීම පරිණත විය.

මානවයා හා ශාක අතර ඇති වූ මෙම බැඳීම ලංකා ඉතිහාසයේදී ද ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක විය. එම සිදුවීම් දාමයේදී අනුරාධපුර යුගයේ මානව සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම නිබන්ධනයේ අරමුණ විය. මෙම අවදිය ලංකා ඉතිහාසයේ මානවයා තාක්ෂණික වශයෙන් මෙන් ම සංස්කෘතිකමය වශයෙන් ද පරිණතභාවයට එළඹෙන අවදියයි. එවන් අවදියක මානව සමාජය සමඟ සම්බන්ධ වූ විවිධ ශාක වර්ග හා එලෙසින් එම ශාක වර්ග සමාජය සමඟ සම්බන්ධ වූ අවස්ථා අධ්‍යයනය කිරීමෙන් ආදි මානවයාගේ මූලික ශාක අවශ්‍යතාවලට අමතරව අනුරාධපුර යුගයේ මානව සමාජය ශාක සමඟ සම්බන්ධ වූ පරිණත අවස්ථා අධ්‍යයනය කිරීමට හැකි විය.

ඒ අනුව මෙම නිබන්ධනයේදී මූලිකව ම අනුරාධපුර යුගයේ මානව සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග හඳුනා ගන්නා අතර එම ශාක වර්ග සමාජය සමඟ සම්බන්ධ වූ අවස්ථා කෙරෙහි ද අවධානය යොමු කරනු ලැබේ. ඒ අනුව වර්තමානයේදී විවිධ නම්වලින් හඳුනාගන්නා ශාක අතීතයේදී හඳුනාගත් නාමය අනුව එම ශාක කුමන අවස්ථා සඳහා භාවිතා කරන ලද්දේ ද යන්න අධ්‍යයනය කිරීම මෙම නිබන්ධයේ අරමුණ විය.

මෙම නිබන්ධනයට පාදක කරගත් අනුරාධපුර යුගය නමින් හඳුනාගන්නා කාල සීමාවට පණ්ඩුකාභය රජු ක්‍රි. පූ. තෙවන සියවසේදී පිහිටුවා ගන්නා අනුරාධපුර රාජධානිය ක්‍රි. ව. 1017 දී දකුණු ඉන්දියාවේ සොළීන් අතට පත් වන තෙක් කාලය අයත් ය. එහෙත් අනුරාධපුර රාජධානි සමය බිහිවීමට පසුබිම ගොඩනැගෙන විජයාගමනය දක්වා කාලය එම රාජධානිය පිළිබඳව අධ්‍යයනයේදී ඉවත දැමිය නොහැකි ය. එම නිසා ඉහත කාලසීමාව තෝරා ගැනීමේදී විජය කුමරුගේ ආගමනය දක්වා වූ කාලය ආරම්භක කාලසීමාව ලෙස තෝරාගැනුණි. ඉහත දැක් වූ කාල සීමාව තොරා ගැනීමට විශේෂයෙන් හේතු වූයේ පෙර සඳහන් කළ පරිදි අනුරාධපුර යුගයේදී මානව සමාජය සංස්කෘතිකමය, තාක්ෂණික ආදී අංශවලින් ඉදිරි පියවරක් තැබූ නිසාවෙන් ඔවුන්ගේ අවශ්‍යතා පුළුල් වී ය යන අදහස ය.
මේ අකාරයෙන් අධ්‍යයනය කිරීමේදී ක්‍රමවේදය වූයේ මූලිකව ම ප්‍රාථමික සාහිත්‍යය මූලාශ්‍රය ඇසුරින් තොරතුරු ගොනු කිරීම ය. එහිදී නිබන්ධනය සාර්ථක කර ගැනීම උදෙසා වංසකථා ගණයෙහිලා සලකන සාහිත්‍යය මූලාශ්‍රය පමණක් උපයෝගී කරගැනීම සිදු විය. එහෙත් එලෙසින් රැස්කරගත් තොරතුරුවල විශ්වාසනීයත්වය තහවුරු කරගැනීම උදෙසා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වන සෙල්ලිපි ද වෙනත් එම යුගයට අදාලව තොරතුරු සපයන ප්‍රාථමික සාහිත්‍යය මූලාශ්‍රය කිහිපයක් ද උපකාරී කර ගැනුණි. මේ ආකාරයෙන් ගොනුකරගත් තොරතුරු පෝෂණය කරගැනීම උදෙසා ද්ව්තියීක සාහිත්‍යය මූලාශ්‍රය ද උපකාරී විය. එමෙන් ම නිතර ශාක සමඟ ගනුදෙනු කරනා ගැමි ජනයාගේ අදහස් ද මෙම පර්යේෂණය සාර්ථක කරගැනීම උදෙසා උපකාරී විය.

මේ වන විට අනුරාධපුර යුගයේ සමාජය ශාක සමඟ සබඳතා පැවැත් වූ අවස්ථා හා එලෙසින් සබඳතා පැවැත් වූ ශාක වර්ග පිළිබඳව ගැඹුරින් පර්යේෂණයට භාජනය වී නොමැත. මේ නිසාවෙන් නිශ්චිතව ම අනුරාධපුර යුගයේදී ශාක හැඳිනගත් නාමයන් පවා සොයාගැනීම අපහසු ය. එම නාමයන් සොයාගැනීමේදී ඉතා පහසුම ක්‍රමවේදය වූයේ දේශීය ආයුර්වේද ග්‍රන්ථවලදී ශාක වර්ග හඳුනාගන්නා නාමයන් ඔස්සේ ප්‍රාථමික සාහිත්‍යය මූලාශ්‍රය පරිහරණය කිරීම ය. ඒ අනුව මූලිකව දේශිය ආයුර්වේද ආයතනය ප්‍රකාශයට පත් කර ඇති ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ දෙවන හා තෙවන කොටස්, ඖෂධීය ශාක සංග්‍රහයේ පළමු දෙවන හා තෙවන කොටස් ද ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්ථයේ පළමු දෙවන තෙවන හා සිව්වන කොටස් ද උපකාර කර ගැනුණි. අතීතයේදී වෙදැදුරන් විසින් ශාක වර්ග අධ්‍යයනය කර ගොනුකරගත් තොරතුරු මෙම ග්‍රන්ථ තුළ විධිමත්ව සංග්‍රහ කර ඇත. ඒ අනුව මෙම නිබන්ධනයේදී අනුරාධපුර යුගයේ සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග වංසකථා ඇසුරින් අධ්‍යයනයේදී දේශීය ආයුර්වේද ශාක සංග්‍රහයන් ඔස්සේ අධ්‍යයනය කර තහවුරු කර ගැනුණි.

අනුරාධපුර යුගයේ සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග පිළිබඳව වංසකථා ඇසුරින් විමර්ශනයේදී රැස් කරගත් තොරතුරු පරිච්ඡේද හයක් ඔස්සේ ගොනුකර දක්වා ඇත. මෙහි පළමු පරිච්ඡේදයේදී මෙම විමර්ශනය පිළිබඳව හා ඒ සඳහා භාවිතා කළ මූලාශ්‍රය පිළිබඳව විමසීමට බඳුන් කර ඇත. ඒ අනුව මෙහිදී උපයොගිී කරගත් ප්‍රාථමික සාහිත්‍යය මූලාශ්‍රය හා ද්ව්තියීක සාහිත්‍යය මූලාශ්‍රය පිළිබඳවත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය පිළිබඳවත් හඳුන්වාදී ඇත.

දෙවන පරිච්ඡේදයේදී අනුරාධපුර යුගයේ සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග පිළිබඳව වංසකථා ඇසුරින් විමසුමට ලක් කරයි. මේ අනුව ශාක ගණයට අයත් වන විශාල ප්‍රමණයේ ශාක, තාල වර්ගයේ ශාක හා පැළෑටි යන විශේෂයන් පිළිබඳව තොරතුරු ගොනු කර ඇත. එමෙන් ම එම ශාක වර්ග අනුරාධපුර යුගයේ සමාජය සමඟ සම්බන්ධ වූ අවස්ථා බෝහෝමයක් ගොනුකර දැක්වීමට ද හැකි විය.

වංසකථා ඇසුරින් හෙළිවන අනුරාධපුර යුගයේදී සමාජය සමඟ සම්බන්ධ වූ ශාක ගණයට අයත් වන වැල් වර්ග පිළිබඳව තෙවන පරිච්ඡේදයේදී සාකච්ඡා කර ඇත. එහිදී ද එම ශාකවල පැරණි නාමයන් හා භාවිතයට ගත් අවස්ථා පිළිබඳව විමර්ශනයට භාජනය කෙරෙනු ඇත.
හතරවන පරිච්ඡේදයේදී වංසකථා විමර්ශනයෙන් අනුරාධපුර යුගයේ කෘෂිකර්මය සමඟ සම්බන්ධ වූ බවට හෙළිවන ශාක වර්ග හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහිදී ශාක වර්ග හඳුනාගැනීමට අමතරව එම ශාක මෙරට අනුරාධපුර යුගයේ කෘෂිකර්මයට කුමන ආකාරයෙන් දායක වූයේ ද යන්න හඳුනාගැනීමට උත්සාහ දරා ඇත.

අනුරාධපුර යුගයේදී සමාජය මල් හෙවත් පුෂ්ප ලෙසින් හඳුනා ගන්නා ශාක වර්ග කෙරෙහි පස්වන පරිච්ඡේදයේදී අවධානය යොමු කරනු ඇත. මේවා ශාක ගණයට අයත් වූව ද මෙකල ජනයා එම ශාක තම ජීවිතයට සමීප කරගෙන ඇත්තේ එම ශාකයන්හි පිපෙන මල් ප්‍රයෝජනයට ගත හැකි ශාක වර්ග ලෙස ය. මෙම පරිච්ඡේදයේදී එම ශාක වර්ග හඳුනා ගන්නා අතරම එම ශාකවල හටගන්නා මල් වර්ග ජනයා ප්‍රයෝජනයට ගත් අවස්ථා හඳුනා ගැනීමට ද උත්සාහ දරා ඇත.

වංසකථා විමර්ශනයේදී අනුරාධපුර යුගයේ රජවරුන් ගොඩනගන ලද උද්‍යාන පිළිබඳව තොරතුරු හමු වේ. උද්‍යාන වර්ග කිහිපයක් ම වුව ද මේවා අතර ශාක වර්ග පදනම් කරගෙන ඉදිවන උද්‍යාන ද දැකගත හැකි ය. මේ අනුව අනුරාධපුර යුගයේ පාලකයන් ගොඩනගා පවත්වාගෙන ගිය උද්‍යාන රාශියක් පිළිබඳව තොරතුරු හයවන පරිච්ඡේදයේදී අධ්‍යයනය කරනු ඇත.

කෙටි යෙදුම්

ආ.ඖ.ස  ආයුර්වේද ඖෂධ සංග්‍රහය
ම.ව  මහාවංසය
ඔ.වි  ඔසුතුරු විසිතුරු
සි.ධා.ව  සිංහල ධාතු වංසය
දී.ව  දීපවංසය
සි.වි  සිංහල විශ්වකෝෂය
ඖ.ශා.ස  ඖෂධීය ශාක සංග්‍රහය
පා.සි.ශ  පාලි සිංහල ශබ්දකෝෂය
ජි.මා  ජිනකාලමාලනිය
වංස  වංසත්ථප්පකාසිනීය
සි.වි  සංහල විශ්වකෝෂය
රසවා  රසවාහිනිය
ස.ප්‍ර  සහස්සවත්ථු ප්‍රකරණය
සාරා  සාරාර්ථ සංග්‍රහය