පස්වන පරිච්ඡේදය

අනුරාධපුර යුගයේදී සමාජය සමඟ සම්බන්ධ වූ මල් වර්ග

ලංකාවේ වංසකථා අධ්‍යයනයේදී අනුරාධපුර යුගය සමඟ සම්බන්ධ වන ශාක වර්ග බොහෝමයක් හඳුනාගත හැකි ය . මෙම ශාක සියල්ලෙහි ම මල් හට ගනී. එහෙත් එම පුෂ්ප ජනයා ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳව වංසකථා කරුවන් දක්වන්නේ අවස්ථා කිහිපයකදී පමණි. ඇතැම් අවස්ථාවලදී පුෂ්ප ලබා ගැනීමේ පරමාර්ථයෙන් ම ශාක රෝපණය කරණ ආකාරය දැකගත හැකි ය . වගාකර හෝ ඉබේහටගත් මෙම ශාකවලින් ලබා ගන්නා පුෂ්ප බොහෝ විට අනුරාධපුර යුගයේදී යොදාගෙන ඇත්තේ අලංකාරය සඳහා, ආගන්තුක සත්කාර සඳහා හා පුද පූජා සඳහා ය . මෙම අවධියේදී පුෂ්ප යොදාගැනීම පිළිබඳව වංසකථා කතුවරුන් දක්වා ඇති තොරතුරු ඇසුරින් ජනතාව පුෂ්ප කුමන අරමුණු වෙනුවෙන් යොදාගත්තේ දැයි අධ්‍යයනය කළ හැක.

අනුරාධපුර යුගයේ ජන සමාජය සමඟ පුෂ්ප සම්බන්ධ වීමේදී ජනයා ඒවා බොහෝ විට හඳුනාගෙන ඇතත්තේ ‘මල්, කුසුම්, පුෂ්ප’ යන නාමයන්ගෙන් ය . එම පුෂ්ප මෙනවා ද යන්න සඳහන් වන්නේ ඉතා සුළු වශයෙන් ය . මහාවංස කතුවරයා මල් යන පදය යොදාගත් අවස්ථා කිහිපයක් හමු වේ. ඉන් පළමු අවස්ථාව හමු වන්නේ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) රජ සමයේදී ය . මිහිඳු හිමි ලක්දිවට වැඩම කර මහමෙව්නා උයනෙහි දෙවන දින රාත්‍රිය ගත කර ඇති අතර පසු දා උදෑසන දේවානම්පියතිස්ස රජු විසින් පිදූ මලින් පූජා ලැබූ බව සඳහන් ය .1 මෙය පාළි මහාවංසයේදී එය ‘කුසුම්’ ලෙස දක්වා ඇත.2 එමෙන් ම දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) මරණාසන්න අවස්ථාවේදී සද්ධාතිස්ස කුමරු කැඳවා මහසෑයට උදේ හවස මල් පූජා කරන ලෙසත් දිනකට තුන් වරක් පෙරහැර කරන ලෙසත් උපදෙස් ලබා දුන් බව ද මහාවංසයේ සඳහන් ය .3 දෙවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 650-659) මල් වතු කරවා ඇති බව එහි වේ.4 සිව් වන මිහිඳු රජතුමා (ක්‍රි.ව. 956-972) විවිධ පුෂ්ප රුවන්වැලිසෑයට පූජා පැවැත් වූ බව ද මහාවංසයේ වේ.5

එමෙන් ම මල් යන නාමය විවිධ විශේෂණ සමඟ යෙදුණු අවස්ථා ද දැකගත හැක. ඒ අනුව මහාවංසයේදී විශේෂණ පද ලෙස ‘ගඳ’ හා ‘සුවඳ’ යන වචන යොදා ගත් බව පෙනී යයි. ඒ අනුව විහාරමහා දේවිය සම්බන්ධ අවස්ථාවකදී ‘ගඳමල්’ යන පදය යොදාගත් ආකාරය දැකගත හැකි ය . කොටගල විහාරයෙහිදී විහාරමහාදේවිය රජගෙයි පසු බත ‘ගඳමල්’ හා බෙහෙත් ද පිළි ද ස්ථවිරයන්ට පූජා කර ඇත.6

  • 1 ම.ව, (2008), 15: 14-15
  • 2 ම.ව, (2006), 15: 14
  • 3 ම.ව, (2008), 32: 59-60
  • 4 ම.ව, (1996), 42: 147
  • 5 ම.ව, (1996), 54: 38-39
  • 6 ම.ව, (2008), 22: 25,31
එමෙන් ම දෙවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 650-659) මරනාසන්න අවස්තාවේදී ගඳමල් ආදිය චෛතයන්ට පූජා කර ඇත.7 විටක එම යෙදුම තවත් අර්ථවත් කර ‘මනා ගඳ මල්’ ලෙස ද මහාවංස කතුවරයා යොදාගෙන ඇත. එය මෙසේ ය .දීඝාභය කුමරු කුල පවුල්වලින් ආරක්ෂකයන් රැස් කරන විට නිර්මල නම් දරුවා කුමරු වෙත පැමිණ ඇත. මොහුව කුණ්ඩල නම් බමුණා කුමරු වෙත යැවීමෙන් පසු පඬුරු ලබාදී ගඟ නහවා ‘මනා ගඳ මල්’ ද ලබාදී ඉතා උසස් ලෙස සත්කාර කර පිය රජු වෙත යැවූ බව මහාවංසයේ සඳහන් ය .8 තවත් විටක මහාවංස කතුවරයා මල් ‘සුවඳ’ යන විශේෂණය සමඟ යොදන ආකාරය ද දැකගත හැක. රුවන්වැලිසෑයට මංගල ගඩොල තැබීම හෙට දින සිදුවෙන බව දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විසින් දන්වා ඇති අතර ඒ සඳහා භික්ෂු සංඝයා ද මහජනයා ද පෙහෙවස් සමාදන්ව ‘සුවඳ මල්’ රැගෙන මහසෑය ඉදිවෙන තැනට පැමිණෙන ලෙස දන්වා ඇත. එමෙන් ම මහසෑය ඉදිවන දිනයේදී ජනයා වෙනුවෙන් විවිධ පහසුකම් හා ආහාරපාන ද සුවඳ මල් ද ඔවුනට අවශ්‍ය පරිදි තැබ්බවූ බව ද මහාවංසයේ සඳහන් ය .9 තව ද රජු එදින රැස්ව සිටි සංඝයා දැක සතුටුව උන්වහන්සේලාව තුන් වරක් ප්‍රදක්ෂිනා කර සුවඳ මලින් පුදා ඇති බව ද එහි සඳහන් ය .10 එමෙන් ම අග්ග්‍රබෝධි රජතුමා (ක්‍රි.ව. 804-815) තම මෑණියන්ට උපස්ථාන කිරීමේදී ඇයට චෛත්‍යක් ආකාරයෙන් සුවඳ මල් පූජා කර ඇති බව මහාවංසයේ සඳහන් ය .11

මහාවංසය ඇසුරින් මල් සම්බන්ධ තවත් වැදගත් අංගයක් හඳුනාගත හැකි ය . ඒවා නම් ‘මල් සුමුගු හා මල් ඇගෑ’ ය . මහමෙව්නා උයනෙහි සීමා ලකුණු කරන අවස්ථාවෙහිදී යොදාගත් සැරසිලි අතර මලින් බර වූ ‘සුමුගු හා මල් ඇගෑ’ ගත් අත් ඇති අඟනන් එහි වූ බව මහාවංසයේ වේ.12 එමෙන් ම රුවන්වැලිසෑයෙහි ධාතු නිධාන උත්සවයේදී ද උත්සවය අලංකාරවත් කරවීමට ‘මල්සුමුගු’ ගත් කතුන් යොදවා ඇති බව එහි වේ.13

රජවරු මල් සම්බන්ධ කරගෙන විවිධ පූජාවන් පවත්වන ලද බව වංසකථා ඇසුරින් හෙළි වේ. භාතිකාභය රජතුමා (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) මහාසෑයට මල් සම්බන්ධව විවිධ පූජාවන් පවත්වා ඇති ඇතර එම පූජාවන්ට මල් සපයාගැන්මට මහාසෑය සමීපයෙහි යොදුනක් පමණ සිත්කළු සුවඳ මල් සිට වූ බවදීපවංසයේ සඳහන් ය . එම මල්වලින් මහාසෑයෙහි උස ප්‍රමාණයට මල් රැස් කර පූජාවක් පවත්වා ඇත. එලෙසින් දාහතර වතාවක් ම පූජා පවත්වා ඇත. තවත් අවස්ථාවකදී විවිධ මල් වර්ග රැස් කර මහාසෑයෙහි මළුවෙහි රැස් කර ආලින්දාකාර හා ස්තම්බාකාර අයුරින් සකසා පුජා කර ඇත. මේ ආකාරයට විවිධ අයුරින් භාතිකාභය රජු මහාසෑයට සුවඳ මල් පූජා කර ඇති බවදීපවංසයේ සඳහන් ය .14 මෙම අවස්ථාව සවිස්තරව දක්වන සිංහල ථූපවංසය පෙන්වා දෙන්නේ භාතිකාභය රජු මහසෑය සමීපයෙහි සිටවූ සුවඳ මල් අතර ඉද්ද හා දෑසමන් මල් තිබූ බව ය .15

  • 7 ම.ව,(1996), 43: 7-9
  • 8 ම.ව, (2008), 23: 17-39
  • 9 ම.ව, (2008), 29: 15-17
  • 10 ම.ව, (2008), 29: 47-48
  • 11 ම.ව, (1996), 49: 51-55
  • 12 ම.ව, (2008), 15: 194-195
  • 13 ම.ව, (2008), 31: 41
  • 14 දීප, 21: 18-20
  • 15 සි. ථූ. ව, පි. 171

අතීතයේදී මල් සම්බන්ධව විවිධ තනතුරු ද වූ බව වංසකථා අධද්‍යයනයේදී පෙනී යයි. මෙම තනතුරු ගොඩනැගී ඇත්තේ ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවීමෙන් පසුව බවත් බෝධියේ මල් සම්බන්ධ වතාවත් උදෙසා ඉන්දියාවෙන් ද ජනයා පැමිණි බවත් ඒවා ඇසුරින් තහවුරු වේ. මේ අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවිමේදී ඒ සමඟ විවිධ කුලවලට අයත් පුද්ගලයින් පැමිණි බව සිංහල බෝධිවංසයේ සඳහන් වේ. මේ කුල අතර මල්කරු කුල අටක් ද වූ අතර මොවුන්ව ශ්‍රී මහා බෝධියේ වතාවත් සඳහා ධර්මාශෝක රජතුමා විසින් එවන ලද බව එහි සඳහන් වේ.16 කිළිඟු කුලය යනු රජ දරු ආදී උතුමන් හට මල් සපයන කුලයකි.17 ඒ අනුව බෝධින්වහන්සේ සමඟ පැමිණි කිළිඟු කුලයෙහි ප්‍රධාන තැනැත්තාට හා පිරිසට මහාබෝධියට අළුත් මල් ලබාදීමට කිළිඟුනා නම් තනතුරක් මෙරටදී පිරිනමා ඇති බව සිංහල බෝධිවංසයේ සඳහන් වේ.18 කාවන්තිස්ස රජතුමා මංගල මහා චේතිය උදෙසා මල් වතු කිරීමට මල් කරුවන්ට මිල ගෙවූ බව සිංහල ධාතුවංසයේ සඳහන් ය .19

අනුරාධපුර යුගයේදී ජනයා බොහෝ සෙයින් නෙළුම් මල් භාවිතයට ගත් බව වංසකථා තුළින් හෙළි වේ. ප්‍රථමයෙන් ම මෙම මල් වර්ගය ජන සමාජය හා සම්බන්ධ වූ බවට විජය කුමරුගේ අවදියෙන් තොරතුරු හමු වේ. විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී කුවේණිය දුටු විජය කුමරුගේ පිරිස මනුෂ්‍ය වාසයක් ඇති යයි සිතා පොකුණට බැස දිය නා නෙලුඹල හා නෙලුඹුදැලි ද නෙළුම් කොළවලින් දිය ද ගෙන ගොඩට පැමිණි බව මහාවංසය දක්වයි.20 එයින් පෙනී යන්නේ ලංකාවේ ඈත අතීතයේදී පවා නෙලුම් මල් තිබූ බව ය . එමෙන් ම කුවේනිය විසින් විජය කුමරුගේ පිරිස නෙළුම් කොළ යට සැඟ වූ බව රාජාවලියේ සඳහන් වේ.21 මෙම තොරතුරු අනුව එකල පුද්ගලයෙකු පවා සැඟවීමට හැකි නෙළුම් කොළ තිබූ බව පැවසීමෙන් පෙනී යන්නේ අතීතයේ තිබූ නෙළුම් කොළ ප්‍රමානයෙන් තරමක් විශාල බව ය . එසේත් නොමැතිනම් එය වංසකථා කරුවාගේ අතිශයෝක්තියක් විය හැකි ය . සිංහල බෝධිවංසයට අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී නෙළුම් මල් අලංකරණ කටයුතුවලට මෙන් ම පුද පූජා සඳහා ද යොදාගත් බව ය . ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) විසින් නගරය අලංකාර කර තිබූ අතර එහි ‘රත් නෙළුම්, එළ නෙළුම්’ ආදී මල් වර්ග ඇති සල්පිල් ද තිබී ඇත.22

  • 16 සි. බෝ. ව, පි. 193
  • 17 සි. බෝ. ව, පි. 259
  • 18 සි. බෝ. ව, පි. 202
  • 19 සි. ධා. ව, පි. 648
  • 20 ම.ව, (2008), 7: 11-13
  • 21 රාජා, පි. 169
  • 22 සි. බෝ. ව, පි. 163
එමෙන් ම මිහිඳු හිමි මහමෙව්නා උයනෙහි අනාගත ඉදිකිරීම් ළකුණු කරන අවස්ථාවේදී රජමාළිගයට උතුරු දිශාවෙන් වූ ‘පස්වනක් පියුමෙන්’ සැරසුණු විලට ගොස් එම ස්ථානයෙහි අනාගතයේදී සංඝයා වහන්සේ උදෙසා ගිනිහල් පොකුණ ඇතිවන බව පවසා ඇත. මෙයින් පෙනී යන්නේ වර්ග පහක නෙළුම් මල්වලින් මෙම පොකුණ අලංකාර වී තිබූ බව ය . තව ද රුවන්වැලිසෑය අනාගතයේ ඉදිවන ස්ථානය දැක්වීමේදී කුඹුක්කන් වැව පිළිබඳව සිංහල බෝධිවංසයේ සඳහන් කර ඇත. මෙම අවස්ථාවේදී මෙම වැව ‘රත් නෙළුම් හා හෙළ නෙළුම්’ ආදී තවත් දියෙහි පිපෙන මල් රාශියකින් අලංකාර වී තිබී ඇති බව එහි සඳහන් ය .23 කාවන්තිස්ස රජතුමා රජ පැමිණි කාලය ඉතා සරුසාර කාල වකවානුවක් බවට පත්වූ අතර එකල පොකුණු ආදී තැන් ජලයෙන් පිරී ගොස් ඒවා පස් පියුමෙන් යුක්ත වූ බව සිංහල ධාතුවංසයේ සඳහන් වේ.24 එමෙන් ම පසු කාලයේදී භාතිකාභය රජු (ක්‍රි.පූ. 19- ක්‍රි.ව. 9) රුවන්වැලිසෑ ධාතු ගර්භය නැරඹීමට වරම් හිමිකරගෙන ඉන් සතුටුව ථූපයට පූජා පවත්වන අවස්ථාවේදී නෙළුම් මල් යෙදූ පුන්කලස් සෑ මළුවෙහි තබ්බවා අලංකාර කර ඇත.25 මිහින්තලා පුවරු ලිපියට අනුව එම විහාරයෙහි ධාතු ගෘහය වෙනුවෙන් නෙළුම් මල් ගෙන එන මල් කරුවන් දෙදෙනෙකුට විශේෂදීමනාවක් ද ලබාදී ඇත.26 මෙයින් පනී යන්නේ පුද පූජා කටයුගු උදෙසා මූලික වශයෙන් මෙම මල් වර්ගය යොදාගත් බව ය . එමෙන් ම මෙම තොරතුරු ඇසුරින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී අනුරාධපුර රාජධානිය ආශ්‍රිත ජලාශ බොහෝමයක් නෙළුම් මල්වලින් යුක්ත වූ බව ය . සාමාන්‍ය ජනයා පවසන්නේ මෙම මල් වර්ගය අරමුණු කිහිපයක් උදෙසා එම ජලාශවල වගා කළ බව ය . ජලායේ පවිත්‍රතාව හා ස්වභාවය ඒකාකාරීව පවත්වාගෙන යාම, අලංකාරය පිණිස හා පුද පූජාවලට යොදා ගැනීම ආදිය එම අරමුණු වේ. පුද පූජා හා අලංකරණ කටයුතු ආදිය හැරුණු විට මම මල් වර්ගය දේශීය ආයුර්වේද ප්‍රතිකාර උදෙසා ද යොදාගත් බව සාරාර්ථ සංග්‍රහයෙන් පෙනී යයි. එම ග්‍රන්ථයට අනුව අනුරාධපුර යුගයේදී සමාජය නෙළුම් මල්වල ගුණ හා ඒවායින් රෝග සඳහා ප්‍රතිකාර කරන ආකාරය පවා දැන සිට ඇත.27

Nelumbo nucifera Gaertn. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා නෙළුම් ශාකය NYMPHAECEAE නම් කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය සංස්කෘත භාෂාවේදී ‘කමල’ ලෙස ද හින්දි භාෂාවේදී ‘කමල කන්වල්’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘පද්ම’ ලෙෂ ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Lotus, Sacred lotus’ ලෙස ද හඳුනා ගන්නා බව ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්තය පෙන්වා දේ.28 ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ ප්‍රථම කොටස පෙන්වා දෙන ආකාරයට ‘නෙළුඹු’ යන්න සමාස වීමෙන් නෙළුම් බවට පත් වී ඇත. එමෙන් ම ජලයෙහි පිපෙන හෙයින් ‘කමල’ ලෙස ද මනහර හෙයින් ‘පද්ම’ ලෙස ද සුවඳ ඇති හෙයින් සුඟන්ධිත ලෙස ද චක්‍රාකාර ‘පත්‍ර’ ඇති හෙයින් අරවින්ද ලෙස ද ජලයේ වැවෙන විශාල පැළෑටියක් හෙයින් ‘මහෝත්ප්පල’ ලෙස ද බොහෝ මල් පෙති ඇති හෙයින් ‘ශතපත්‍ර’ ලෙස

  • 23 සි. බෝ. ව, පි. 166-167
  • 24 සි. ධා. ව, පි. 483
  • 25 ම.ව, (2008), 34: 52-54
  • 26 ෑචසටර්චයස් ’ැහක්බසජ්ල ඪදක ෂල ඡ 75
  • 27 සාරා, 3 අ, පි. 139
  • 28 කුලසේකර පී, (1994), III කා. ඔ. වි, පි. 167-168
හා ‘සහස්‍රපත්‍ර’ ලෙස ද වතුරෙහි වාසය කරන හෙයින් ‘තාමරස’ ලෙස ද තඩාගයෙහි වෙසෙන හෙයින් ‘සාරස’ ලෙස ද පෝෂණය හා සම්බන්ධ හෙයින් ‘පුෂ්කර’ ලෙස ද නෙළුම් මල හඳුනා ගන්නා බව එම ග්‍රන්ථය පෙන්වා දේ. නෙළුම් පඳුර හා නෙළුම් පොකුණ ‘පද්මිණී’ ලෙස ද හඳුන්වනු ලබන බව එහි වේ.29 නෙළුම් කොළයට වැටෙන වතුර කොළයේ නොතැවරී මුතු ඇටයක් මෙන් බබළන අතර එලෙස වැටෙන වතුර ‘පොකුරඹ’ ලෙස හඳුන්වයි. සුශ්‍රැත සූත්‍රයට අනුව නෙළුම් මල් වර්ගීකරණය කර ඇති ආකාරය ආයුර්වේද ඖෂධ සංග්‍රහය මෙලෙස පෙන්වා දේ.
  • පද්ම - මදක් සුදුපාටින් යුත් නෙළුම් මල් වර්ගය.
  • උත්පල - මදක් නිල්පාටින් යුත් නෙළුම් මල් වර්ගය.
  • නලින - මදක් රතුපාටින් යුත් නෙළුම් මල් වර්ගය.
  • කුමුද - සඳරැස් මගින් පිපෙන නෙළුම් මල් වර්ගයයි.
  • සෞගන්ධික - රෑට පිපෙන ගර්දභපුෂ්ප නම් නෙළුම් මල් විශේෂයයි.
  • කූවලය - සේරල නම් නෙළුම් වර්ගයයි.
  • පුංඩරික - තද සුදුපාට ඇති නෙළුම් වර්ගයයි30
අතීතයේ ඉන්දියානු සාහිත්‍යයේදී සුදුපියුම්, රතුපියුම්, නිල් පියුම් ලෙස නෙළුම් ප්‍රභේද තුනක් තිබූ බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. මේ විස්තරයට අනුව එම ප්‍රභේදවලින් නිල් නෙළුම් යනු නිල් මානෙල් ය . ලංකාවේ අතීත සාහිත්‍යයේදී නෙළුම් ප්‍රභේද පහක් පිළිබඳව සාකච්ඡා කර ඇත. පස්පියුම් ලෙස නම් කරන ඒවා නම් හෙළනෙළුම්, රතුනෙළුම්, මානිල් (ඉඳුවර), ඕලු (කූවලය), හෙල්මැලි (සෞගන්ධික) ය .31 මෙයින් පෙනී යන්නේ ඉන්දියාවේ අතීත සාහිත්‍යයේදී නෙළුම් ලෙස හඳුනාගත් පුෂ්ප ලංකාවේ අතීත සාහිත්‍යයේදී වෙනත් නම්වලින් හඳුනාගන්නා බව ය . එමෙන් ම මෙම ශාකය ලංකාවේ සියළුම පළාත්වල ද ඉන්දියාවේ උෂ්න ප්‍රදේශවල ද පාකිස්ථානයේ ද වැවෙන බව ඔසුතුරු විසිතුරු ග්‍රන්ථය පෙන්වා දේ.32

නෙළුම් මල් මෙන් ම මානෙල් මල් ද අනුරාධපුර යුගයේ විවිධ අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගත් බව වංසකථා පෙන්වා දේ. මේ අනුව පළමුවෙන් ම මානෙල් මල් ප්‍රයෝජනයට ගත් බවට තොරතුරු හමු වන්නේ දේවානම්පියතිස්ස රජ සමයෙන් ය . එය මෙසේ ය . මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු නගරය අලංකාර කර තිබූ අතර එහි ‘උපුල්’ ආදී මල් වර්ග ඇති

  • 29 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 237-238
  • 30 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 237-238
  • 31 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 237-238
  • 32 කුලසේකර පී, (1994), III කා. ඔ. වි, පි. 167-168
සල්පිල් ද තබූ බව සිංහල බෝධිවංසය පෙන්වා දේ.33 මෙහිදී උපුල් යනුවෙන් සඳහන් කර ඇත්තේ මානෙල් මල් ය . එමෙන් ම මිහිඳු හිමියන් මහමෙව්නා උද්‍යානයේ අනාගතයේදී සංඝයා වෙනුවෙන් ඉදිවන ඉදිවීම් සළකුණු කරන අවස්ථාව දැක්වීමේදී කුඹුක්කන් වැව ‘උපුල’ ආදී තවත් දියෙහි පිපෙන මල් රාශියකින් අලංකාර වී තිබූ බව සිංහල බෝධිවංසය දක්වයි.34 අනුරාධපුර නගරයට ශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාවේදී නගරය විවිධ ආකාරයෙන් අලංකාර කර තිබී ඇත. එහිදී මහනෙල් මල් ඇතුළු තවත් මල් වර්ග යොදාගෙන ඇති අතර සුවඳ පුරවා උපුල් මලින් අලංකාර කළ පුන්කළස් දහස් ගනනින් යුත් සල්පිල් ද ඉදිකරවා තිබූ බව සිංහල බෝධි වංසය ප්‍රකාශ කරයි.35 එමෙන් ම භාතිකාභය රජු (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) මානෙල් මල් යොදාගෙන රුවන්වැලිසෑ මළුව අලංකාර කර ඇත. එහිදී සිතියම් පැදුරු සිදුරෙහි මානෙල් මල් අමුණා ඒවා මළුව අලංකාරයට යොදා ගත් බව මහාවංසය දක්වයි.36 තව ද මෙම රජතුමා රුවන්වැලිසෑ මළුව සුවඳ ජලයෙන් සෝදවා ඒ මත කළාල අතුරා කළාල මත මානෙල් මල් මිටි අතුරා පූජා පැවැත් වූ බවදීපවංසය දක්වයි.37 මේ ආකාරයෙන් භාතිකාභය රජු මානෙල් මල්වලින් සෑය පිදූ බව සිංහල ථූපවංසය ද සඳහන් කරයි. එම පූජාවන්හිදී දවස් හතක් මානෙල් මල් පූජා කළ බව ද එහි වේ.38 මිහින්තලා පුවරු ලිපියට අනුව එම විහාරයෙහි ධාතු ගෘහය වෙනුවෙන් මානෙල් මල් ගෙන එන මල් කරුවන් දෙදෙනෙකුට විශේෂදීමනාවක් ද ලබාදී ඇත.39 මෙයින් පනී යන්නේ පුද පූජා කටයුතු උදෙසා මූලික වශයෙන් මෙම මල් වර්ගය යොදාගත් බව ය .

මානෙල් මල් සම්බන්ධව කතා කරන විට ‘මානෙල් මල් කෙතට’ වංසකථා අතර හිමි වන්නේ වැදගත් වන ස්ථානයකි. විහාරමහා දේවියගේ කුස දරුවෙකු පිළිසිඳගත් අවස්ථාවේදී ඇයට දොළදුක් කිහිපයක් ඇතිවිය. මේ අතර එක් ආශාවක් වන්නේ අනුරාධපුර මානෙල් මල් කෙතින් ගෙනෙන ලද්දා වූ නොමැළවුණු මල් වඩමක් පැළඳීමයි. මෙම කර්යයේදී වේළුසුමන යෝධයාගේ සහයෝගයෙන් විහාරමහා දේවියගේ දොළ සංසිඳලූ බව මහාවංසයෙහි සඳහන් විය.40 මෙම සිදුවීම සිංහල ථූපවංසයෙහි ද දැක්වෙන අතර මෙහි එන මානෙල් කෙත අනුරාධපුර තිසාවැවෙහි ඇති බව දක්වා ඇත.41 එමෙන් ම එම මානෙල් කෙත පිළිබඳව හා එම සිදුවීම පිළිබඳව රාවලියෙහි ද වේ.42 එමෙන් ම පසුව සුරනිමල යෝධයා බවට පත් වූ නිර්මල නැමැත්තා පිළිබඳව මහාවංසයේ සඳහන් වන විස්තරයේ ද මානෙල් මල් කෙත පිළිබඳව සඳහන් ය . නිර්මල නම් තැනැත්තාදීඝාභය කුමරු මුනගැසී පසුව කුමරුගේ අණින් කුණ්ඩල නම් බමුණා මුනගැසී ඇති අතර බමුණා එම අවස්ථාවේදී නිර්මලට ස්නානය කර පැමිණෙන ලෙස දන්වා ඇත. එවිට නිර්මල නැමැත්තා තිසාවැවෙන් ස්නානය කර අනුරාධපුරයේ විවිධ ස්ථාන දැක වන්දනාමාන කර නගරයට ඇතුළුව මානෙල්

  • 33 සි. බෝ. ව, පි. 163
  • 34 සි. බෝ. ව, පි. 167
  • 35 සි. බෝ. ව, පි. 197
  • 36 ම.ව, (2008), 34: 52-54
  • 37 දීප, 21: 16
  • 38 සි. ථූ. ව, පි. 172
  • 39 ෑචසටර්චයස් ’ැහක්බසජ්ල ඪදක ෂල ඡ 75
  • 40 ම.ව, (2008), 22: 43-55
  • 41 සි. ථූ. ව, පි. 114
  • 42 රාජා, පි. 178
මල් කෙතින් මානෙල් මල් ද රැගෙන පැමිණ ඇත.43 මෙම සිදුවීම රාජාවලියේ ද සඳහන් වන අතර නිර්මල මානෙල් මල් කඩාගෙන පැමිණි ආකාරය ද ඒ ආකරෙයෙන් ම සඳහන් වේ.44 එහෙත් සිංහල ථූපවංසය මෙම අවස්ථාව දක්වන්නේ නිර්මල නම් පුද්ගලයා මෙම අවස්ථාවේදී මානෙල් කෙතින් මානෙල් මල් කඩාගෙන පැළඳගෙන පැමිණි බව ය .45 මෙම තොරතුරු ඇසුරින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී ජලාශවල නෙළුම් මල් ආදී මල් වර්ග රාශියක් වගා කර තිබූ බව ය . මෙහි සඳහන් වන නෙළුම් කෙත යනු එකල වැඩි වටිනාකමකින් හඳුනාගත් ස්ථානයක් විය යුතු ය . සිංහල ථූපවංසය පෙන්වා දෙන ආකාරයට මෙම ස්ථානය තිසා වැවෙහි තිබී ඇත. එමෙන් ම එයට එම නම පටබැඳීමට හේතු වී ඇත්තේ කෙතක ආකාරයෙන් නෙළුම් මල් රාශියක් තිබූ නිසා විය හැකි ය . නෙළුම් මල් මෙන් ම මානෙල් මල් පිළිබඳව ද ජනයා පවසන්නේ පෙර සඳහන් කළ අදහසම ය . ජලාසයේ පවිත්‍රතාව හා ස්වභාවය ඒකාකාරීව පවත්වාගෙන යාම ආදිය සඳහා වැව්වල මෙම ශාකය වගා කරන්නට ඇත. එමෙන් ම එයින් ලැබෙන මල් අලංකරණ කටයුතු උදෙසා යොදාගැනීමට ද පුද පූජා සඳහා යොදාගැනීමට ද ඔවුන් පෙළඹෙන්නට ඇත.

Nymphaea nouchali Burm.f. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා මානෙල් නම් ශාකය NYMPHAEACEAE යන කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය සිංහල භාෂාවේදී ‘මානෙල්’ යන නමයෙන් මෙන් ම ‘ඉඳුවර, නිලුපුල්’ යන නාමයන්ගෙන් ද දෙමළ භාෂාවේදී ‘වෙල්ලාම්බල්’ හා ‘ඉන්දිරවාවම්’ ලෙස ද සංස්කෘතභාෂාවේදී ‘කුමුදු’ හා ‘නීලකමල’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘BlueWater Lily, Wate nymph’ ලෙස ද හඳුනා ගනී.46 එමෙන් ම ‘ඉන්දිවර, ඉන්දීවාර ,ඉන්දිරාවර’ ආදී නම් රාශියකින් ද මෙම ජලජ පැළෑටිය හඳුන්වනු ලබන ආකාරය ද දක්නට ලැබේ.47 මානෙල් පැළෑටිය නෙළුම් පැළෑටියට වඩා කුඩා ය . මුලින් මානිල් ලෙස නම් වූ මෙම පැළෑටිය පසුව මානෙල් බවට පත් වූ බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි. එය මානෙල් ලෙස හැඳින්වීම ආරම්භ වූවාට පසුව සුදු, රතු, නිල් යන විශේෂණ ද එක් වූ බව එහි වේ. එහි දැක්වෙන ආකාරයට සුදු මානෙල් යනු ඹ්ලු වන අතර රතු මානෙල් යනු සේරල ය . නිල් විශේෂණය නැති වුවත් මානෙල් සැබැවින්ම නිල් මානෙල් ය .48 මෙම පැළෑටිය ඉන්දියාවේ සිට නිව්ගිනියාව දක්වා ව්‍යාප්තව ඇත.49

දියෙහි පිපෙන මල් අතර ඕලු මලට ද අනුරාධපුර යුගයේදී ප්‍රධාන තැනක් හිමි වූ බව මෙම පුවතින් හෙළි වේ. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ පානවර්ග අතර අෂ්ටවිධ පානවර්ග ද තිබී ඇත. අෂ්ටවිධ පාන වර්ග අතරට ඕලු මිරිකාගත් බීම ද අයත් ය . මෙහිදී ඕලුවල කුමන කොටස මිරිකා බීම සාදාගත්තේ ද යන්න ගැටළු සහගත ය .50 මෙම ශාකයෙන් බීම සාදාගන්නා බව සඳහන් වුව ද පුෂ්ප ප්‍රයෝජනයට ගත් බව වංසකථාවල සඳහන් නොවී ය . එහෙත් ජලයෙහි පිපෙන අනෙක් මල් මෙන් ම මෙම මල් ද පුද පූජා කටයුතු උදෙසා යොදාගත් බව අනුමාන කළ හැක.

  • 43 ම.ව, (2008), 23: 17-30
  • 44 රාජා, පි. 180
  • 45 සි. ථූ. ව, පි. 120
  • 46 ඖ. ශා. ස. (2003), III වෙ, පි. 37
  • 47 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 282
  • 48 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 282
  • 49 ඖ. ශා. ස. (2003), III වෙ, පි. 39
  • 50 සි. ථූ. ව, පි. 151, 200
Nymphaea Stellata Willd යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා ඕලු පැළෑටිය NYMPHAEACEAE කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය හිංදි භාෂාවේදී ‘කුඉං’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘ශ්වේත සුංදි, ලාල් සුංදි’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Water lily’ ලෙස ද හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ.51 ඕලු යනු මානෙල් වර්ගයක් බව ද එහි තෙවන කෙටසෙහි සඳහන් වේ. එනම් ඉහත හඳුන්වාදුන් හෙළ උපුල් යනු ඕලු ය . එමෙන්ම ඕලුවලට ‘කුවල, කුවලය, කන්දෝට, කුමුද, කෛරව, ශ්වේතෝත්පල’ යන නම් ද යෙදේ. ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දෙන ආකාරයට ඕලු වර්ග තුනකි. ඒවා නම් ‘ඇත් ඕලු, තෙල් ඕලු, කුඩා ඕලු (බහිරව ඕලු)’ ය . ‘පණු ඕලු’ ලෙස හඳුන්වන වර්ගයක් ද ඇති අතර එය පස්පියුම්හි ‘හෙල්මැලි’ නම් වර්ගය බව එහි සඳහන් ය . එමෙන් ම එම මලේ නෙළුම්වලට අයත් ලකුණු නොමැති අතර පැළෑටියට යම් සමානකමක් දක්වයි.52

දියෙහි පිපෙන තවත් මල් වර්ගයක් වන කුමුදු මල් පිළිබඳව පිළිබඳව වංසකථා තොරතුරු හෙළි කරයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර එහි ‘ඇඹුල’ ආදී මල් වර්ග ඇති සල්පිල් ද තිබී ඇත.53 මෙම ‘ඇඹුල’ යනු කුමුදු මල් ය . සිංහල බෝධිවංසයේදී මිහිඳු හිමියන් මහමෙව්නා උද්‍යානයේ අනාගත ශාසනික ඉදිකිරීම් සළකුණු කරන අවස්ථාව දක්වන අතර කුඹුක්කන් වැව පිළිබඳව ද සඳහන් කර ඇත. මෙම අවස්ථාවේදී මෙම වැව ‘ඇඹුල’ ආදී තවත් දියෙහි පිපෙන මල් රාශියකින් අලංකාර වී තබූ බව එම ග්‍රන්ථයේ සඳහන් වේ.54 දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාම දාගැබ ඉදිකිරීමට සුමන සාමණේරයන් ලවා ධාතු ගෙන්වාගැනීම දක්වන අවස්ථාව දැක්වීමේදීදීපවංසය දක්වා ඇත්තේ කුමුදු මල් පිපුණු රාත්‍රියක සුමන සාමණේරයන් විසින් ධාතුන් වහන්සේ මෙරටට වැඩමවා ගත් බව ය .55 අනුරාධපුර නගරයට ශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාවේදී නගරය විවිධ ආකාරයෙන් අලංකාර කර තිබී ඇති අතර එහිදී සුවඳ පැන් පුරවා ඇඹුල ඇතුළු තවත් මල් වර්ග යොදා අලංකාර කළ පුන්කලස් දහස් ගනණනින් යුත් සල්පිල් සාදවා ඇත.56 ඉහත සඳහන් වූ දියෙහි පිපෙන අනෙක් මල් වර්ග මෙන් ම මෙම මල් වර්ගය ද අනුරාධපුර යුගයේ ජනයා අලංකාරය පිණිස යොදාගන්නා ලද බව පෙනේ. එහෙත් මෙය පෙර අවස්ථාවන්ට වඩා සැබවින්ම වෙනස් ය . මෙම මල් පිපෙනුයේ රාත්‍රී කාලයේදී ය . මෙහි සඳහන් සියලු සිදුවීම් සිදුව ඇත්තේ ද රාත්‍රී කාලයන්හිදී ය . ඒ අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ජනයා රාත්‍රී අලංකරණ කටයුතු කිරීමේදී පරිසරයට උචිත ලෙස අමුද්‍රව්‍ය යොදාගත් බව ය .

  • 51 ආ. ඖ. ස. (1980), I පිය, II කො, පි. 40
  • 52 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 76
  • 53 සි. බෝ. ව, පි. 163
  • 54 සි. බෝ. ව, පි. 167
  • 55 දීප, 15: 17-19
  • 56 සි. බෝ. ව, පි. 197
ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්ථය පෙන්වා දෙන ආකාරයට කුමුදු ශාකය නෙළුම් පවුලට අයත් ශාකයකි.57 Nymphoides indica (L.) Kuntze යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා මෙම ශාකය MENYANTHACEAE නම් වූ කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය දෙමළ භාෂාවේදී ‘වෙල්ලම්බල, කොවෙසි, කුආයි’ ලෙස ද හින්දි භාෂාවේදී ‘කුර්ඊ’ ලෙස ද වංග භාෂාවේදී ‘ශාලුකා’ ලෙස ද මලයාලි භාෂාවේදී ‘කාමෝද’ ලෙස ද ගුජරාත් භාෂාවේදී ‘පොයනු’ ලෙස ද සංස්කෘත භාෂාවේදී ‘කුමුද, උත්ඵල, අසිතොත්පල, ඉන්දීවරී, කන්දොළු, කුමුදු, නීලකම්, උත්ඵල, නීලෝත්ඵල’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Blue water lily’ ලෙස ද හඳුනාගනී. එමෙන් ම ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්තයට අනුව කුමුදුවල ප්‍රභේද හඳුනාගන්නේ එහි පුෂ්ප අනුව ය . එම ග්‍රන්ථය පෙන්වා දෙන ආකාරයට මෙම ශාකය ලංකාවේ සියලුම ප්‍රදේශයන්හි ජලාශවල වැවේ.58

මහාවංස කතු වරයා මෙම ග්‍රන්ථය රචනයේදී බොහෝ සෙයින් මල් ලෙස යොදාගෙන ඇත්තේ දෑසමන් මල් නම් මල් විශේෂයයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර එහි දෑසමන් ආදී මල් වර්ග ඇති සල්පිල් ද තිබී ඇත.59 මිහිඳුහිමිට දේවානම්පියතිස්ස රජු විසින් මහමෙව්නා උද්‍යානය පූජා කළ පසු රජු විසින් හිමියන් වෙත දෑසමන් මල් අට මිටක් පිළිගැන්වූයේ ය . මිහිඳු හිමි මල් අට මිට දකුණු පස ඉඹුල් රුකක් මුල ඉස එහි සංඝකර්ම පිණිස මාලක සීමා පිහිට වූ බව රජුට පැවසුවේ ය . මේ ආකාරයෙන් ගිනිහල් පොකුණ ඉදිවිය යුතු ස්ථානයේදී ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරන ස්ථානයේදී ද සංඝයාගේ පොහොය ගෙය ඉදිවන ස්ථානයේදී ද භික්ෂූන්ට උපන් නොයෙක් ලාභ බෙදන ස්ථානයේදී ද චතුස්ශාලාව පිහිටන ස්ථානයේදී ද මිහිඳු හිමියන් හට රජු විසින් පූජා කරන ලද දෑසමන් මල් මිහිඳු හිමි පොළවට ඉස එම ස්ථාන සළකුණු කර ඇත.60දීපවංසය මෙන් ම සිංහල බෝධිවංසය ද මෙම අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජු දෑසමන් මල් භාවිතයට ගත් බව දක්වා ඇත.61 එහෙත් පූජාවලිය දක්වන්නේ එම අවස්ථාවේදී සමන්මල් යොදාගත් බව ය .62 සමන් මල් යනුවෙන් හඳුනාගන්නේ ද දෑසමන් මල් ම බව ඖෂධීය ශාක සංග්‍රහය පෙන්වා දේ.63 මෙම ග්‍රන්ථ ලියවුණු යුග අනුව මෙම හඳුනාගැනීමේ වෙනස වූ බව සිතිය හැකිය. කාවන්තිස්ස රජතුමා බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත්කර මංගල මහා චේතිය ඉදිකර එය පිළිගන්වන දිනයේදී දාගැබ දෑසමන් මල් මාලාවලින් එකම මල් වටයක් සේ වට කර සරසවා ඇති බව සිංහල ධාතු වංසයේ සඳහන් වේ.64/article>
  • 57 චන්ද්‍රසිරි පී එම්, (1994), II කා. ඔ. වි, පි. 198
  • 58 චන්ද්‍රසිරි පී එම්, (1994), II කා. ඔ. වි, පි. 198
  • 59 සි. බෝ. ව, පි. 163
  • 60 ම.ව, (2008), 15: 28-47
  • 61 දීප, 13: 47-63, සි. බෝ. ව, පි. 167
  • 62 පූජා, 33, පි493
  • 63 ඖ. ශා. ස. (2003), III වෙ, පි. 153
  • 64 සි. ධා. ව, පි. 639
එමෙන් ම දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමට මංගල ගඩොල තැබීමට ප්‍රථමයෙන් විසාඛය, සිරිදෙවය යන ඇමතියන් දෙදෙනාට ස්ථූපය ඉදිවන ස්ථානය සැරසීමට නියෝග කළේ ය . ඔවුන් මෙම ස්ථානයේ වැලි අතුරා වැලි මත දෑසමන් මල් ඇතුළු තවත් ද්‍රව්‍යන් කිහිපයක් අතුරුවා ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් වේ.65 තව ද දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161-137) කාලයේදී රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගාඩොල තබා එය දෑසමන් මලින් පිදූ කල්හි පොළව කම්පා වූ බව මහාවංසයේ සඳහන් ය .66 එමෙන් ම මෙලෙස සෑය ඉදිවන කාලයේදී භික්ෂුවක් තමන් ම ගඩොලක් සාදා වඩුවාට සඟවා දුන්නේ ය . මේ බව රජු දැනගත් පසු ශ්‍රීමහා බොධියෙහි දෑසමන් කැකුළු කල තුනක් තබ්බවා මේ භික්ෂවට ලබාදී ගඩොල සාදාදීමේ වේතනය ගෙවා ඇත.67 මෙම සිදුවීම ම සිංහල ථූපවංසයේ ද සඳහන් වන අතර එහිදී දුටුගැමුණු රජු දෑසමන් යෙලසාලක් එම භික්ෂුවට පූජා කිරීම උදෙසා ලබාදී ඇති බව සඳහන්ය.68 භාතිකාභය රජ (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) සමයේදී රජු නුවර සැතපුම් අටක පමණ ප්‍රදේශයක දෑසමන් මල් සිටුවා ඇති අතර හෙතෙම පාපිළිකඩ පටන් ධුරච්ඡත්‍රය තෙක් අඟල් සතරක් ගණකම් සුවඳ මඩ මහ සෑයෙහි ආලේප කරවා එහි මල් නැටිවලින් අමුණා සෑය සරසවා ඇත. නැවත වතාවක් පෙර සේ මල් අමුණා යන්ත්‍රානුසාරයෙන් අබා වැවෙන් ජලය ගෙනැවිත් ඒ දියෙන් සෑය තෙමමින් ජල පූජාව සිදු කර ඇති බවද මහාවංසයේ සඳහන් ය .69 එමෙන් ම බුද්ධදාස රජතුමා (ක්‍රි.ව. 340-368) ද මහා විහාරය රියන් විසිපහක් ලෙස විශාල කරවා ඇති අතර එයට දෑසමන් මල් පූජා කර ඇත.70

සමන් මල් ලෙස හඳුනාගන්නා මල් වර්ගයක් පිළිබඳව ද වංසකථා කරුවන් හඳුන්වාදී ඇත. එහෙත් සමන් මල් යනුවෙන් හඳුනාගන්නේ ද දෑසමන් මල් ය . වංසකථා කරුවන් මෙම සමාන බව දැන ග්‍රන්ථ රචනයේදී එම වචනයන් සිත් සේ භාවිතා කළා ද එසේත් නැතිනම් මෙම සමාන බව නොදැන එම වචන යොදාගතතේ ද යන්න නිශ්චිතව පැවසිය නොහැක. වැඩිදුරටත් වංසකථා පරිහරණය කිරීමේදී සමන් මල් යනුවෙන් මෙම ශාකය හඳුනාගන්නා අවස්ථා බොහෝමයක් හඳුනාගත හැකි ය . සමන් මල් පිළිබඳව ද ථූපවංසය තුළින් ද තොතුරු හමු වේ. මිහිඳු හිමි ලක්දිවට පැමිණ ඇත් හලෙහි ධර්මය දේශනා කිරීමට ප්‍රථමයෙන් රජු එම ස්ථානය පිරිසිදු කරවා අලංකාර කර ඇත. එලෙස අලංකාර කිරීමේදී සුදුවැලි බිම අතරා ඒ මත ලදපසමල් ඉස ඇත. ලදපස මල් ලෙස හඳුන්වන්නේ ද්‍රව්‍ය කිහිපයක එකතුවට ය . මේ ද්‍රව්‍ය අතර සමන් මල් ද වේ.71 මෙලෙස දුටුගැමුණු රජු විසින් ලද පස මල් ඉසින ලද තවත් අවස්ථාවකි රුවන්මැලිසෑ ධාතුනිධානෝත්සවය. එයින් කියැවෙන්නේ රුවන්වැලිසෑයෙහි ධාතු නිධානය කරන දිනයෙහි නගරයේ වීධිවල සුදුවැලි අතුරා ඒ මත සමන් කැකුළු ඇතුළු තවත් ද්‍රව්‍ය කිහිපයක් ඉස ඇති බව ය . 72

  • 65 සි. ථූ. ව, පි. 151
  • 66 ම.ව, (2008), 29: 61-62
  • 67 ම.ව, (2008), 30: 26-27
  • 68 සි. ථූ. ව, පි. 159
  • 69 ම.ව, (2008), 34: 40-45
  • 70 රාජා, පි. 200
  • 71 සි. ථූ. ව, පි. 101
  • 72 සි. ථූ. ව, පි. 178
දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලි සෑයට මංගල ගඩොල තැබූ අවස්ථාවේදී සුමන නම් තෙර කෙනෙකුන් එම ස්ථානයට සමන් මල් පූජා කර ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් විය.73 වංසකථා දක්වන මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අතීතයේදී ද දෑසමන් හෝ සමන් යන නාමයන්ගෙන් හඳුනා ගන්නා ලද මල් වර්ගය ජනයාට සමීප වූ මල් වර්ගයක් බව ය . එමෙන් ම අනෙක් මල්වලට වඩා මෙම මල් වර්ගයට බුදුන් පිදීමේදී වැඩි වටිනාකමක් හිමි වූ බව ද මෙම තොරතුරු අනුව අනාවරණය වේ. එමෙන් ම සාරාර්ථ සංග්‍රහයෙහි ද මෙම මල් වර්ගය පිළිබඳව සඳහන් වේ. එම ග්‍රන්ථයට අනුව මෙම මල් වර්ගය හඳුනාගැනීම උදෙසා අනුරාධපුර යුගයේදී ‘මාලතී, ජාති, සුමනා, චම්බේලි, වේතිකා’ යන නම් භාවිතා කර ඇත. එමෙන් ම එම යුගයේ ජනයා එම මල් යොදාගෙන යම් යම් රෝග සුවකිරීම පිළිබඳව අවබෝධයකින් සිටි බව ද සාරාර්ථ සංග්‍රහය අධ්‍යයනයෙන් පෙනී යයි.74

දෑසමන් යනු සමන්පිච්ච මල් බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය දක්වයි.75 එම මල් පාලියෙන් ‘ජාතිසුමනා’ ලෙස හඳුනා ගන්නා බව පාලි සිංහල ශබ්දකෝෂය පෙන්වා දේ.76 ජාතිසුමනා යන පදයෙන් දෑසමන් යන නම බිහිව ඇති බව ද සෙම්නස ඇති කරන හෙයින් ‘සුමනා, සෞමනස්‍යායනී’ ලෙස ද චේතනාව පුබුදු කරන හෙයින් ‘චේතිකා’ යන නම ද හොඳ සුවඳක් ඇති හෙයින් ‘හෘද්‍යගන්ධා’ යන නම ද යෙදෙන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. හින්දියෙන් එය ‘චමේලී’ ලෙස හඳුන්වන අතර හම නාමයට මුල් වී ඇත්තේ සකු බසින් ‘චම්බේලි’ ලෙස හැඳින්වීම ය . එමෙන්ම මෙම මල් වර්ගය දෙමළ බසින් පච්ච ලෙස හඳුන්වන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සඳහන් ය .77 එමෙන් ම එය දෙමළ භාෂාවේදී ‘මිල්ලිගාඉ’ යන නාමයෙන් ද හඳුනාගන්නා බව ඖෂධීය ශාක සංග්‍රහය පෙන්වා දේ. මෙම ශාකය Jasminum officinale L. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා අතර OLEACEAE යන කුලයට අයත් ය . ඉංග්‍රීසි භාෂාවේදී ‘Jasmine, Spanish jasmine, Common jasmine, Catalonian jasmine’ යන නම්වලින් ද මෙම ශාකය හඳුනාගන්නා බව ඖෂධී්‍ය ශාක සංග්‍රහය පෙන්වා දේ. එමෙන් ම එයට අනුව මෙම ශාකයේ ප්‍රභේද කිහිපයකි. ඒවා නම් මෙසේ ය .
  1. සුදුමල් සහිත සමන්පිච්ච නම් වර්ගය (මෙය සුලභය)
  2. කැකුළු දම්පැහැයට හුරු දෑසමන් වර්ගය (මෙය දුර්ලභය)
  3. ගැටපිච්ච දෙවර්ගය
  4. කොන්ද (කුන්ද සමන්)
  5. ස්වර්ණජාතී නම් කහපාට සමන්පිච්ච වර්ගය (මෙය ලංකාවේ අතිශයින් දුර්ලබය)78
එමෙන්ම මෙම මල්වල පැරණි උපන් බිම ලෙස සලකන්නේ හිමාලයේ වයඹ දිග ප්‍රදේශයයි. එමෙන් ම මෙම ශාකය ඉන්දියාව ලංකාව වන් රටවල වැවේ.79

  • 73 සි. ථූ. ව, පි. 156
  • 74 සාරා, 3 අ, පි. 139
  • 75 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 215
  • 76 ශ්‍රී සුමංගල හිමි, පා. සි. ශ, පි. 297
  • 77 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 215
  • 78 ඖ. ශා. ස. (2003), III වෙ, පි. 153-154
  • 79 පියසේන සී සී සී, (1994), III කා. ඔ. වි, පි. 268
අතීතයේ පුදපූජා කටයුතු සඳහා දෑසමන් මල් මෙන් ම සීනිද්ද මල් ද යොදාගෙන ඇත. භාත්කාභය රජු (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) රුවන්වැලිසෑයට පූජා පැවැත්වීමේදී සීන්ද්ද මල් යොදා ගත් බව මහාවංසයේ සඳහන් විය.80 මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර එහි ‘සීනිද්ද හා බෝලිද්ද’ ආදී මල් වර්ග ඇති සල්පිල් ද තිබූ බව සිංහල බෝධිවංසය සඳහන් කරයි.81 මෙහිදී බෝලිද්ද යනු ඉද්ද මල් විශේෂයක් ද යන්න ගැටළුවක් මතු වේ. එමෙන් ම භාතිකාභය රජු මහාසෑය අසල ඉද්ද මල් වතු ඇති කළ බව ද ඉහත සඳහන් විය. මෙහිදී සීනිද්ද හා ඉද්ද යනු මල් වර්ග දෙකක් ද යන්න සොයා බැලීම වටී.

Walidda antidyseterica (L.) යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා ඉද්ද ශාකය APOCYNACEAE කුලයට අයත් ය . මෙය සිංහල භාෂාවේදී ‘ඉද්ද, වැල් ඉද්ද, යොහොඹුලතා, මල්ලිකා’ යනාදී නම්වලින් හඳුනාගැනෙන බව ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්ථය ප්‍රකාශ කරයි.82 එමෙන් ම මෙම ශාකය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බහුල වශයෙන් වැවෙන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ.83 බෝලිද්ද ලෙස හඳුනාගන්නා ශාකය Jasminum auriculatum vahl යන විද්‍යාත්මක නාමයෙන් හඳුනාගන්නා අතර එය OLEACEAE යන කුලයට අයත් ය . එමෙන් ම මෙම ශාකය සංස්කෘත භාෂාවේදී ‘චර්තුලෝ යුථී’ යන නාමයෙන් හඳුනාගන්නා බව ඔසුතුරු විසිතුරු නම් ග්‍රන්ථය පෙන්වා දේ.84 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ ඉද්ද හා බෝලිද්ද යනු ශාක වර්ග දෙකක් බව ය .

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර එහි සපුමල් ආදී මල් වර්ග ඇති සල්පිල් ද තිබී ඇත.85 මිහිඳුහිමි ලක්දිව මහමෙව්නා උයනෙහි ස්ථාන ලකුණු කරන අවස්ථාවෙහිදී මහාසෑය පිහිටවිය යුතු ස්ථානය ලකුණු කර ඇත්තේ සපු මල් මුළු අටක් කකුධ නම් කුඩා වැව මතුයෙහි දිය කෙළවර උස තැනක ඇතිරීමෙනි.86 රුවන්වැලිසෑය පිහිටවන ස්ථානය මිහිඳුහිමියන් සළකුණු කරන විට සපුමල් යොදාගත් බවදීපවංසය මෙන් ම සිංහල බෝධිවංසය ද සඳහන් කරයි.87 ඒ බව සිංහල ථූපවංසය ද පෙන්වා දේ. එම විස්තරයට අනුව අනුරාධපුර නගරයට ශ්‍රී මහා බෝධිය වැඩම කරන අවස්ථාවේදී නගරය විවිධ ආකාරයෙන් අලංකාර කර තිබී ඇත. එහිදී සපු මල් ඇතුළු තවත් මල් වර්ග යොදාගෙන ඇත.88 එමෙන් ම දේවානම්පියතිස්ස රජු ලෝවාමහාපාය පසුකාලීනව පිහිටවන ස්ථානය අසළින් යන අවස්ථාවේදී රජු විසින් සපු මල් මිහිඳු හිමි වෙත ලබාදී ඇති අතර මිහිඳු හිමි එම මල් ලෝවාමහාපාය පසුකාලීනව පිහිටවන භූමියට පූජා කර ඇත.89 මෙයින් පෙනී යන්නේ සපු මල් පුද පූජාවලට පමණක් යොදාගෙන ඇති අතර අලංකරණ කටයුතු ආදී අනෙකුත් කටයුතු උදෙසා යොදා නොගත් බව ය .

  • 80 ම.ව, (2008), 34: 40-45
  • 81 සි. බෝ. ව, පි. 163
  • 82 අභයවර්ධන එම් ඒ ඩී ඩබ්ලිව්, (1994), I කා. ඔ. වි, පි. 155
  • 83 ආ. ඖ. ස. (1980), I පිය, II කො, පි. 27
  • 84 , (1994), IV කා. ඔ. වි, පි. 187
  • 85 සි. බෝ. ව, පි. 163
  • 86 ම.ව, (2008), 15: 54-55
  • 87 දීප, 14: 1-6 (සි.බෝ.ව. 1996: 167).
  • 88 සි. බෝ. ව, පි. 197
  • 89 සි. ථූ. ව, පි. 109
මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අතීතයේදී හටගත් ශාකවල පිපෙන පුෂ්පවල ඇති සුවිශේෂීත්වය නිසාම එම ශාකවලට සමාජය තුළ යම් පිළිගැනීමක් තිබූ බව ය . අනුරාධපුර යුගයේදී ලංකාවේ බුදු දහම ස්ථාපිත වීමත් සමඟම පුෂ්ප හටගන්නා එක්තරා ශාක කොටසක් ජන සමාජයේ ප්‍රචලිත වූ බව මෙම වංසකථා තහවුරු කර ඇත. අතීත සමාජය පිළිගැනීමට බඳුන් කළ ශාකවල හටගත් පුෂ්ප ‘මල්’ යන නාමයෙන් හඳුන්වා ඇති අතර එම ශාක ‘මල් ගස්’ යනුවෙන් හැඳින්වීමට හුරු වූ බව ද මේ තොරතුරු අනුව පෙනී යයි. මෙම මල් ආගමික කටයුතුවලදී පුද පූජා සඳහා යොදාගැනීමත් ආගමික උත්සව අලංකාර කිරීමත් යන කරුණු උදෙසා භාවිතා වූ බව වංසකථා පෙන්වා දේ.

මෙම මල් වර්ග අතර දියෙහි පිපෙන මල්වලට ප්‍රධාන තැනක් හිමි වේ. මානෙල්, නෙළුම්, ඕලු, කුමුදු යන මල්වල ප්‍රභේද අනුරාධපුර යුගයේ සමාජය තුළ වඩා ප්‍රචලිත වූ බව මෙසේ ගොනු කර ඇති තොරතුරු අනුව පෙනී යයි. ඒ අනුව බුදුරජුන් පිදීමේදී මෙම මල් යොදා ගෙන ඇත. එමෙන් ම අලංකරණය උදෙසා ද මෙම මල් යොදා ගත් බව පෙනී යයි. එලෙස යොදාගත් මල් අතරින් සූර්යාලෝකය හමුවේ විකසිත වන මල් වර්ග දිවා කාලයේ උත්සව අලංකරණයට යොදාගෙන ඇත. එම අවස්ථාවන්හිදී මල්වල ප්‍රාණවත් බව රැකගැනීම උදෙසා සුවඳවත් ජලය ඇති බඳුන්වල මල් බහා තැබීමට පවා අනුරාධපුර ජන සමාජය දැනසිට ඇත. එමෙන් ම රාත්‍රී උත්සව සැරසීමේදී සඳඑළියෙන් විකසිත වන කුමුදු වැනි මල් ද යොදා ගෙන ඇත. එවන් අවස්ථාවන්හිදී ද පෙර සේ ජල බඳුන්වල මල් දමා තිබූ බව වංසකථා පෙන්වා දේ. මෙම මල්වලින් විහදෙන්නා වූ සුවඳ එම උත්සව තව තවත් සුවඳවත් කරන්නට ඇත. එමෙන් ම අනුරාධපුර යුගයේ ජනයා භාවිතයට ගත් මල් වර්ග අතරින් සමන් මල්වලට විශේෂ තැනක් හිමි වූ බව වංසකථා හෙළි කරයි. මේ ආකාරයෙන් අනුරාධපුර යුගයේ ජන සමාජය ශාක වර්ග කිහිපයක හටගත් මල් වර්ග කිහිපයක් ඔවුන්ගේ සමාජය තුළදී ඉහළ පිළිගැනීමකට බඳුන් කර ඇති බව වංසකථා අධ්‍යයනයෙන් තහවුරු කරගත හැකි ය .