දෙවන පරිච්ජේදය

අනුරාධපුර යුගයේදී සමාජය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග

වංසකථාවලදී ඒවායෙහි කතුවරුන් බොහෝ සෙයින් අවධානය යොමු කරන්නේ සිංහලයන් බෝධි වෘක්ෂය ලෙසින් හඳුන්වනු ලබන ශාකය වෙත ය . මේ අනුව ඓතිහාසික යුගයේදී ලක්දිව ජනයා අතර බොහෝ සෙයින් ප්‍රචලිත වූ වෘක්ෂයක් ලෙස ‘බෝධි වෘක්ෂය’ හඳුන්වාදිය හැකි ය . චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උපකාර වූ වෘක්ෂය යන තේරුමින් ‘බෝධිද්‍රැම’ යන නාමය බුද්ධගයාවේ තිබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැඳින්වීමට යොදාගැනුණු බව ද පසුව අනෙක් ඇසතු ගස් ද බෝ ගස් ලෙස හැඳින් වූ බව ද ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. 1

මෙම වෘක්ෂය සිංහල බෞද්ධයන්ගේ ගෞරවයට ත් වන්දනාවට ත් ප්‍රාත්‍ර වූ බව වංසකථා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ ශාකාවක් දේවානම්පියතිස්ස රජ කල මෙරටට වැඩමවීමෙන් පසු එය එදා මෙදා තුර ප්‍රධාන පුරවැසියාගේ සිට බෙහෝ ජනයාගේ වැඳුම් පිදුම් ලැබූ බව සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනයේදී පෙනී යයි. මෙම ශාකයට වන්දනාමාන කිරීම ආරම්භ වන්නේ දේවානම් පියතිස්ස රජුගේ (ක්‍රි.පූ 250-210) කාලයේදී ය . මෙම රජුගේ ප්‍රධානත්වයෙන් බෝධීන් වහන්සේ දඹකොළ පටුනට වැඩමවීමෙන් පසුව එම පුද පූජා ආරම්භ වී ය . මෙරටට වැඩම වූ බෝධීන් වහන්සේට රජු ප්‍රථමයෙන් ම තම රාජ්‍ය පූජා කළේ ය . 2 මෙතැන් පටන් ලංකාවේ රජවරු බෝධීන් වහන්සේ උදෙසා විවිධ පූජාවන් සිදු කර ඇත. මේ අනුව පෙනීයන්නේ බෝධි වෘක්ෂය කෙරෙහි ලංකාවේ ජනතාව තුළ තිබූ ගෞරවයයි
.
  • 1 ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, (1985), Iපියවර III කොටස, පි. 47
  • 2 සිංහල මහාවංසය, ශ්‍රී සුමංගල නායක මා හිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමන්, (2008), රත්න ප්‍රකාශකයෝ, 19, 22-31
පළමුව විජය කුමරුගේ සමය තුළින් නුග ශාකය පිළිබඳව තොරතුරු හමු වේ. රාජාවලියෙහි සඳහන් ආකාරයට උපුල්වන් දෙවියන් ලක්දිවට පැමිණි විජය කුමරු ඇතුළු පිරිසට පිරිත් නූල් බැඳ ඇත්තේ එම පිරිස නුග ගසක සෙවනේ සිටි අවස්ථාවේදී ය . එමෙන් ම ලංකාවට පැමිණි විජය කුමරු ප්‍රථමයෙන් ම කුවේනිය දැක ඇත්තේ ද ඇය නුග ගසක් මුල කපුකටිමින් සිටින විටදී ය . 3 අනුරාධපුර රාජධානිය ආරම්භවීමට ආසන්න කාලසීමාව වන විට මෙරට ජනයා නුග ශාකය සෙවන ශාකයක් ලෙස යොදාගත් බව මෙම තොරතුරු අනුව පෙනී යයි. එමෙන් ම පණ්ඩුකාභය රජ සමයේදී ද මෙම ශාකය ජන ජීවිතයට සමීප වූ ශාකයක් බව මහාවංසය හෙළි කරයි. එම සිදුවීම මෙසේ විය. පණ්ඩුකාභය කුමරු තම මාමා වරු සමඟ සටනට යන අතරමඟදී ගිරිකඬ පර්වතය නම් ස්ථානයට පැමිණ ඇත. මෙම ස්ථානයේදී පණ්ඩුකාභය කුමරු ගිරිකඬසිව නම් තම මාමාගේ දියණිය පියාණන්ට සහ ගොයම් කපන පිරිසට බත් ගෙන යන බව දැනගෙන ඇය කෙරේ සිතින් බැඳී තමන්ට ද සංග්‍රහ කරන ලෙස ඉල්ලා සිටියේ ය . ඒ අනුව එම කුමරිය ‘නුග රුක’ මුලදී කුමරුන් හට බත් ලබාදී ඇති අතර අන් පිරිසට බත් ලබාදීමට ඒ අසළ තිබූ නුග ගසෙන් කොළ කඩා ගත් පසු එම කොළ රන් බඳුන් බවට පත් වී ඇත. 4 පාලි මහාවංසය මෙම අවස්ථාව දැක්වීමේදී නුග ශාකය ‘නිග්‍රෝධ’ ලෙස දක්වා ඇත. 5 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ජනයා ආහාර බෙදීමේදී පිඟාන් වෙනුවට ආදේශක යොදාගැනීමේදී නුග පත්‍ර ද යොදාගත් බව ය . එමෙන් ම ඉහත සිදුවීම්දී මෙන් ම මෙම සිදුවීමේදී ද නුග ගස සෙවන ශාකයක් ලෙස යොදාගත් බව පෙනී යයි. තව ද නුග මළුවක් පිළිබඳව ද වංසකථා තුළින් තොරතුරු හමු වේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ 250-210) මහාවිහාරයේ සීමා ලකුණු කරන අවස්ථාවේදී දිගුපහනට පසුව කර්මාර දේවයාගේ බඩහැලට වමින් පිහිටි නුගමළුව ද සීමාවක් ලෙස ගෙන ඇති බව මහාවංසය පෙන්වා දේ. 6 පාලි මහාවංසය මෙම නුග මළුව හඳුන්වා ඇත්තේ ‘නිග්‍රොධමණ්ඩගණං’ ලෙස ය . 7 කාවන්තිස්ස රජු මංගල මහා චෛත්‍ය කරවා එහි විහාරයක් ද කරවා එම විහාරයේ සීමා ලකුණු කිරීමේදී එක් මායිමක් ලෙස ‘මරාද’ වැව ඊසාන කෝණයෙහි තිබූ නුග ගස ද ගෙන ඇත. 8 මෙයින් පෙනී යන්නේ නුග ශාකය අනුරාධපුර යුගය වන විට සීමා ලකුණු කිරීමේ කාර්යේදී යොදාගත් බව ය . එසේ යොදාගැන්මට ඇත්තේ නුග ශාකය එකල ජනතාව ඉතා හොඳින් හඳුනා ගත් ශාකයක් නිසා විය හැකි ය .

  • 3 රාජාවලිය, සංස්: සුරවීර ඒ වී, (1997), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පි. 169
  • 4 ම.ව, (2008), 10, 35-37
  • 5 මහාවංසො, සංස්: මංගල ඉලංගසිංහ, (2006), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 10, 35
  • 6 ම.ව, (2008), 15, 203
  • 7 ම.ව, (2006), 15, 204
  • 8 සිංහල ධාතුවංසය, සංස්: විමල් විජේරත්න, (2012), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි. 655
කිරිපළු නම් ශාක වර්ගය ද අනුරාධපුර යුගයේදී පැවති බව සාහිත්‍ය මූලාශ්‍රයදී හමු වේ.ඤ මෙම කොටසේදී කිරිපළු නම් ශාකයේ ‘ළු’ අක්ෂරය යොදා ඇත්තේ මූලාශ්‍ර එය දැක් වූ ආකාරයට ම ය . එම නිසා එය ‘ළු / ලු’ යන ආකාර දෙකෙන් ම මෙහිදී දැක්වේ. % බුදුන් ජීවමාන කාලය තුළින් මෙම ශාකය පිළිබඳව තොරතුරු ප්‍රථමයෙන් ම හමු වේ. එය මෙසේ ය . චූලෝදර හා මහෝදර නාගයින් අතර මිණිපළඟ උදෙසා ඇති වූ සටන වැළැක්වීමට ගෞතම බුදුරජුන්වහන්සේ ලක්දිව නාගදීපයට වැඩම කර ඇත. එම අවස්ථාවේදී ජේතවනයේ කිරිපලු රුකක වැඩ සිටි දෙවි කෙනෙක් බුදුන් වහන්සේට ඔහු වාසය කළ එම වෘක්ෂය ඡත්‍රයක් ආකාරයෙන් දක්වා ඇත. මේ දෙවියන් පෙර භවයේදී නාගදීපයේ මනුෂ්‍යයෙකුව ඉපදී කිරිපලු රුක පිහිටි තැන බොජුන් වළඳන පසේ බුදුන් දැක සිත් පැහැදී පාත්‍රයන් පිරිසිදු කිරීමට එම ගසේ පත්‍ර ලබාදී ඇත. ඒ පිනෙන් පසු ආත්මයේදී ඔහු ජේතවනයේ දොරටුකොටු පස කිරිපලු රුකෙහි දෙවියෙක්ව ඉපිද ඇත. පසුව හෙතෙම ඉන් පිටව ගිය ද බුදු රජුන් රුක් දේවතාවාගේ යහපත හා හිත සුව පිණිස එම දේවතාවා ද එම වෘක්ෂය ද නාගයන් දමනය කරන්නා වූ අවස්ථාවට ගෙන්වා ඇති බව මහාවංසයේ සඳහන් ය . 9දීපවංසය මෙම අවස්ථාව මහාවංසයට වඩා මදක් වෙනස් ආකාරයෙන් දක්වයි. ඒ අනුව බුදුන් ලක්දිව නාගයන්ගේ සටන මැඩපැවැත්වීමට යන අවස්ථාවේදී දෙව්රම් වෙහෙරේ වැඩසිටි දෙවියෝ සියල්ලෝ ම බුදුන්ට උපස්ථාන කිරීමට පැමිණියහ. මෙහිදී බුදුන් සුමන දෙවියන්ට පමණක් කිරිපළු රුක සහිතව තමන් සමඟ පැමිණෙන ලෙස දන්වා ඇත. එම අවස්ථාවේදී සුමන දෙවියන් එම රුක බුදුන්ට ඡත්‍රයක් ආකාරයෙන් සකසා සෙවන සලසමින් රැගෙන විත් ඇත. බුදුන් නාගයන් දමනය කර ලක්දිවෙන් පිටත්ව යන විට කිරිපළු රුක ලක්දිව නාගයන්ගේ වන්දනය උදෙසා තබා ගොස් ඇත. 10 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ බුදුරජුන්ගේ කාලයේදී මෙම ශාකය සෙවන ශාකයක් ලෙස යොදාගත් බව සංකේතවත් කිරීමට වංසකථාකරුවා උත්සාහ ගෙන ඇති බව ය .දීපවංසයේ හා මහාවංසයේ තොරතුරු අනුව පෙනී යන්නේ කිරිපළු නම් ශාකය අනාදිමත් කාලයේදී ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දුන් ශාකයක් බව ය . එමෙන් ම මහලුමානා රජුගේ පුත් භාතියතිස්ස රජු නාගදීපයේ කිරිපලු ගස මුල පලුදාගෙය නම් දාගැබ් ගෘහයක් කරවූ බව පූජාවලියේ සඳහන් ය . 11

  • 9 ම.ව, (2008), 01, 52-58
  • 10 සිංහලානුවාද සහිතදීපවංශය, සංස්: ඤාණවිමල හිමි. කිරිඇල්ලේ, (1959), ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 2. 14-50
  • 11 පූාජාවලිය, සංස්: සුරවීර ඒ වී සහ අභයවර්ධන එච් ඒ පී ඇතුළු පිරිස, (1998), ඝ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය, 33 පරිච්ඡේදය, පි. 501
එමෙන් ම ‘පුළිල’ නම් ශාකයක් පිළිබඳව සිංහල බෝධිවංසයේ සඳහන් ය . මිහිඳුමාහිමි මහාවිහාරයේ අනාගත ඉදිකිරීම් ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේට බස්නාහිරින් ඇති දොරටුවෙන් පිටත පිහිටි මාළිගාවේ දකුණු දෙස ඇති ‘පුළිල ගස’ මුලට ගොස් සංඝකර්ම උදෙසා මෙතැන අනාගතයේදී මලුවක් ඇතිවන බව පවසා ඇත. 12 පූජාවලිය ද මෙම අවස්ථාවේදී මිහිඳුහිමි පුළිල ගස මුල මහා විහාරයේ අනාගත ඉදිකිරීමක් නම් කළ බව දක්වා ඇත. 13

එමෙන් ම අතීතයේ පටන් ලංකාවේ සඳුන් වෘක්ෂ සම්බන්ධ නිශ්පාදන ද භාවිතා කළ බව ප්‍රාථමික මූලාශ්‍රය හෙළි කරයි. ඒ අනුව ප්‍රථමයෙන් ම සඳුන් වෘක්ෂ සම්බන්ධ සිදුවීමක් හමු වන්නේ දේවානම්පියතිස්ස රජුගේ (ක්‍රි.පූ 250-210) අවධියේදී ය . මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු නගරය අලංකාර කර තිබූ අතර එහි සඳුන් ආදී සුවඳ ද්‍රව්‍ය ඇති සල්පිල් තිබී ඇති බව සිංහල බෝධිවංසය දක්වයි. 14 එමෙන් ම මහමෙව්නාවේ සීමා ලකුණු කරන අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජු මහාපදුමය කුංජරය යන ඇතුන් යෙදූ රන් නගුලක් භාවිතා කරමින් එම කර්තව්‍ය සිදුකර ඇති අතර මෙම අවස්ථාව අලංකාර කිරීමට විවිධ සැරසිලි උපක්‍රම යොදා ඇත. එම සැරසිලි අතර යහපත් සඳුන් සුනු ඇති තලිය ගත් අත් ඇති අඟනන් ද සිට ඇත. 15 පාලි මහාවංසය මෙම අවස්ථාවේදී සඳුන් හඳුන්වා ඇත්තේ ‘චන්දන’ ලෙස ය . 16 මෙම අවස්ථාවේදී ද සඳුන් සුනු හෙවත් සඳුන් කුඩු යොදාගත් බව සිංහල බෝධිවංසය දක්වයි. 17 දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161-137) යෝධයකු වන සුරනිමල යෝධයා පිළිබඳව සඳන් කරන අවස්ථාවේදී ද සඳුන් පිළිබඳව තොරතුරු හමු වේ. මුලින් නිමිල නම් වූ මෙම යෝධයාගේ හැකියාව පිරික්සීමටදීඝාභය කුමරු ඔහු අතට ලියුමක්දී එම ලියුම කුණ්ඩල නම් බමුණා වෙත ලබාදී බමුණා ලබා දෙන සඳුන් ආදී තවත් සුවඳ ද්‍රව්‍යන් කිහිපයක් රැගෙන එන ලෙස දන්වා ඇත. 18 එමෙන් ම පසුකාලයේදී භාතිකාභය රජතුමා (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව.9) අඟල් හතරක් පමණ ගනකම් සඳුන් මඩ මහා සෑයෙහි ආලේප කර ඒ මත මල් රඳවා ඇති බව සිංහල ථූපවංසය සඳහන් කරයි. එමෙන් ම සතියක් සඳුන් ආලේප වස්සවා ඇති බව ද එහි සඳහන් ය . 19

  • 12 සිංහල බෝධිවංසය, සංස්: සුචරිත ගම්ලත් සහ ඊ. ඒ. වික්‍රමසිංහ, (1996), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි.166
  • 13 පූජා, 33, 493
  • 14 සි. බෝ. ව, පි. 163
  • 15 ම. ව. (2008), 15, 194
  • 16 ම. ව. (2008). 15, 194
  • 17 සි. බෝ. ව, පි. 174
  • 18 සිංහල ථූපවංසය, සංස්: ඩබ්ලිව් ඇස් කරුණාතිලක, (2005), ඇම් ඩී ගුණසේන සහ සමාගම, පි. 120
  • 19 සි. ථූ. ව, පි. 171-172
තව ද විදේශයන්ගෙන් ගෙන්වන ලද සඳුන් පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රය සඳහන් වේ. අශෝක රජු දේවානම්පියතිස්ස (ක්‍රි.පූ 250-210) රජු වෙත එවනු ලැබූ ප්‍රතිපඬුරු අතර සඳුන් තිබී ඇත. මේ අනුව අශෝක රජු දේවානම්පියතිස්ස රජු වෙත එවා ඇත්තේ ඉන්දියාවේ කෙණ්ඩිකාව පර්වතයෙහි හටගත් නා සඳුන් ය . 20 පාළි මහාවංසය මෙම අවස්ථාවේදී යොදාගෙන ඇති සඳුන් නම් කර ඇත්තේ ‘හරිචන්දනං’ ලෙස ය . 21 එමෙන් ම මෙම හරිචන්දන රත් සඳුන් හා රන්වන් සඳුන් යන නම්ින් ද ‘ගොසිත චන්දන’ යන නමින් ද හඳුන්වන බව මහාවංසයේ ටීකාවේ සඳහන් ය . ගොසිත චන්දන යනු උඳුනක් මත පැසෙන තෙල් මතට දැමූ විට උඳුනේ ඇති තෙල් ද ගින්දර ද නිවීමට සමත් සඳුන් විශේෂයක් බව ද එම ග්‍රන්ථය පෙන්වා දේ. 22දීපවංසය මෙම අවස්ථාව දැක්වීමේදී සඳුන් හඳුන්වා ඇත්තේ ‘රන්වන්’ සඳුන්’ ලෙස ය . 23

සාමාන්‍යයෙන් සඳුන් ශාක වර්ග දෙකක් ඇති බව ජනයාගේ විශ්වාසයයි. ඒ ‘රත්සඳුන්’ හා ‘සුදුසඳුන්’ ය . එමෙන් ම මෙම ශාක හටගන්නා ප්‍රදේශ අනුව හා ලබා ගන්නා ආකාර අනුව ද වර්ගීකරණය කර ඇති බව ආයුර්වේද ග්‍රන්ථ අධ්‍යයනයේදී පෙනේ. මෙම ශාකයේ ඉතිහාසය ඈත අතීතය දක්වා දිව යයි. අතීතයේ මියුළු නුවර සිරිවර්ධන සිටුතුමාට දාව උපන් කුමරු මව් කුසින් බිහිවන විට අතෙහි සුදුහඳුන් අරටුවක් මිට මොළවාගෙන සිට ඇත. මේ කුමරුවා අප බෝසතාණන්ගේ එක් ආත්ම භවයකි. මෙම සුදුහඳුන් අරටුව උරගා නළලේ ආලේප කිරීමෙන් සිරිවර්ධන රජුට වසර දොළහක් තිස්සේ හටගෙන තිබූ හිසරදය සුවපත් වී ඇත. මෙලෙස මහා ඖෂධයක් ගෙනා කුමරුන් නිසා මෙම කුඩා කුමරුවාට මහෞඔෂධ යන නම තබා ඇති බව ඖෂධීය ශාක සංග්‍රහය පෙන්වා දේ.

  • 20 ම. ව. (2008). 11, 28
  • 21 ම. ව. (2006). 11, 28
  • 22 වංසත්ථප්පකාසිනී, සංස්: අකුරටියේ අමරවංස හිමි සහ හේමචන්ද්‍ර දිසානායක, (1994), පිලි හා බෞද්ධ
  • 23 අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, කැළනිය විශ්ව විද්‍යාලය, පි. 230දීප, 11, 35-39
අතීතයේදී ලංකාවේ සල් නම් ශාකය පැවති බව සිංහල ධාතු වංසය අධ්‍යයනයේදී පෙනී යයි. මහානාග රජ්ජුරුවන්ගේ රාජ්‍ය කාලයෙහි මහාදේව නම් තෙරුන් වහන්සේ බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ ඉන්දියාවෙන් ගෙනැවිත් ලංකාවේ ‘හත්ථොට්ඨ’ නම් ජනපදයෙහි කුක්කුටකඬ නම් වූ මහා සල් ගස මුලට අහසින් බැස වැඩ සිට ඇති අතර එවේලෙහි මහාකාල නම් ධනවත් පුද්ගලයෙක් ධාතුන් භාර ගෙන දිගු කලක් පූජා පැවැත්වූ බව සිංහල ධාතු වංසය ප්‍රකාශ කරයි.24 මෙම සල්ගස ‘කුක්කුටකඬ’ නම් පර්වතය අසළ පිහිටි සල්ගසක් බව ජිනකාලමාලී නම් ග්‍රන්ථය දක්වයි.25

සපු නම් ශාකය කාවන්තිස්ස රජ සමයේ තිබූ බව සිංහල ධාතුවංසය ප්‍රකාශ කරයි. ඒ අනුව කාවන්තිස්ස රජු රජ බවට පත් වූ කාල වකවානුව ඉතා සරුසාර කාලයක් බවට පත් වූ බව ද මෙකල රාජධානිය මල් හා ගෙඩි හටගන්නා චම්පක ආදී තවත් ගස් වර්ග රාශියකින් අලංකාර වී තිබූ බව ද සිංහල ධාතුවංසය ප්‍රකාශ කරයි.26 මෙහි සඳහන් චම්පක යනු සපු ගස් බව පාලි සිංහල ශබ්දකෝෂය පෙන්වා දේ.27 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී සශ්‍රීකත්වය පෙන්වීමේ එක් උපායක් ලෙස පාරිසරික සෞන්දර්ය දැක් වූ බව ය . එමෙන් ම එම අවස්ථාවන් වර්ණවත් කර දැක්වීමේදී විවිධ ශාක වර්ග යොදා ගත් අතර සපු ශාකය ද යොදාග් බව පෙනී යයි. තව ද මෙම ශාකට ජනයා අතර ඉහළ පිළිගැනීමක් තිබූ නිසා මෙවන් අවස්ථාවන්ට යොදාගත් බව ද සිතිය හැක. එපමණක් නොව මෙම ශාකය පිළිබඳව බුද්ධදාස රජතුමා (ක්‍රි.ව. 340-368) විසින් රචිත සාරාර්ථ සංග්‍රහයේ ද සඳහන් වේ.28 එයින් පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට වෙදැදුරන් සපු ශාකයෙන් වෛද්‍ය ප්‍රතිකාර කරන ආකාරය පවා දැන සිටි බව ය .

එමෙන් ම ඉහත දැක්වූ ආකාරයෙන් කාවන්තිස්ස රජුගේ රාජධානි සමයේ හටගත් ශාක වර්ග අතර අශෝක නම් ශාකය ද වූ බව සිංහල ධාතු වංසය පෙන්වා දේ.29

  • 24 සිංහල ධාතුවංසය, සංස්: එම් ඩබ්ලිව් විමල් විජේවර්ධන, (2012), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි. 429
  • 25 ජිනකාලමාලී, සංස්: පොල්වත්තේ බුද්ධදත්ත හිමි, (2009), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි. 44
  • 26 සි. ධා. ව, පි. 483
  • 27 මඩිතියවෙල ශ්‍රී සුමංගල හිමි, පාලි සිංහල ශබ්දකෝෂය, (1965), පි. 285
  • 28 සාරා, 3 අ, පි. 139
  • 29 සි. ධා. ව. පි. 483
කාවන්තිස්ස රජු රජ බවට පත් වූ කාල වකවානුව ඉතා සරුසාර කාලයක් බවට පත්වූ බව ඉහතදී සඳහන් වී ය . මෙකල රාජධානියේ හටගත් ශාක අතර නාග ගස් ද වූ බව සිංහල ධාතුවංසය පෙන්වා දේ. නාග ගස් යනු මෙනවා ද යන්න මෙහිදී ගැටළුවක් මතු වේ. මෙම ධාතුවංස පිටපතෙහි එය දක්වා ඇත්තේ ‘පුන්නාග නාග චම්පක....’ ලෙස ය . මාතර ඤාණාභිවංසසිරිධම්මරක්ඛිතාරාමයෙන් සොයාගත් පිටපතෙහි මෙම අවස්ථාව දක්වා ඇත්තේ ‘සපු නා පනා....’ ආදී ලෙස ය .30 ඒ අනුව මෙම පර්යේෂණයට භාවිතා කළ සිංහල ධාතුවංසය නම් ග්‍රන්තයට පාදක වූ ධාතුවංස පිටපතෙහි නාග ගස් යනු නා ගස් ද යන්න සැක කළ හැක. ‘නා’ යනු මව් බසෙහි නාග ශබ්දය මුල් කරගෙන ඇතිවූවක් බව ආයුර්වේද සංග්‍රහය ප්‍රකාශ කරයි. මෙයින් පෙනී යන්නේ නාග ගස් යනු නා ගස් බව ය .31

වංසකථා සඳහන් ශාක අතර හිඹුල් නම් ශාකයක් ද වේ. මිහිඳු හිමි මෙරටට පැමිණ මහමෙව්නා උයනේ ඉදිකිරීම් ලකුණු කරන අවස්ථාවේදී සංඝ කර්ම පිණිස මාලක සීමා ලකුණු කරන ලද්දේ තමා වැඩ සිටි ස්ථානයට දකුණුපස පිහිටි හිඹුල් රුක මුලට දෑසමන් මල් අට මිටක් ඉසීමෙන් බව මහාවංසය දක්වයි.32 පාලි මහාවංසය එය ‘රුක්ඛම්හි පිචුලෙ’ ලෙස දක්වා ඇත.33 වංසත්ථප්පකාසිනීය මෙම ශාකය පිළිබඳව දක්වන්නේ මෙසේ ය . ‘රුක්ඛම්හි පිචුලෙ යනු, එනම් ඇති රුක මත; පිචුල රුක් මුලැ’යි කී සේ යි’.34

මහාවිහාරයේ සීමා ලකුණු කරන අවස්ථාවේදී එම ස්ථානයේ සීමා ලෙස බොහෝ විට යොදාගෙන ඇත්තේ ස්වභාවධර්මය සමඟ බැඳුණු අවස්ථාවන් ය . කොලොම් ගස් දෙකක් මෙම සීමාවට ඇතුළත් වූ බව මහාවංසය දක්වයි.35 එකක් ‘ජීවමාන කොළොම් රුකක්’ වූ අතර අනෙක ‘මළ කොළොම් රුකක්’ ලෙස මහාවංසයේ වේ. ජීවමාන කොළොම් රුක ‘ජීවමානකදම්බඤ්ච’ ලෙස ද මළ කොළොම් රුක ‘මතකදම්බ’ ලෙස ද පාලි මහාවංසය දක්වා ඇත.36 මහාවංස කතුවරයා කොළොම් වෘක්ෂය පිළිබඳව නැවත මහාවංසය තුළ සාකච්ඡා කිරීමට උත්සාහ දරන්නේ නැත. එමෙන් ම අනෙක් වංසකථා තුළින් මෙම ශාකය පිළිබඳව තොරතුරු හමු නොවේ.

  • 30 සි. ධා. ව, පි. 483
  • 31 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 241
  • 32 ම. ව, (2008). 15, 28-29
  • 33 ම.ව, (2006). 15: 28
  • 34 වංස, පි. 262
  • 35 ම. ව, (2008), 15, 208-209
  • 36 ම. ව, (2008), 15, 208
මහාවංසයේ එන කාවන්තිස්ස රජුගේ කාලයෙන් හමුවන තොරතුරු අනුව අට්ටික්කා ශාකයට අතීතයේදී දැවමය වටිනාකමක් හිමි වූ බව පෙනී යයි. කාවන්තිස්ස රජු දුටුගැමුණු කුමරු උදෙසා යෝධයන් රැස්කරන අවස්ථාවේදී සිතුල්පව්වෙහි කපිට්ඨ නම් ගමෙහි උත්පල නම් තැනැත්තාගේ පුතනුවන් වූ පුස්ස විහාරයට පූජා කරන ලද හක්ගෙඩියක් මහත් ශබ්දයෙන් පිම්බේ ය . මෙම ශබ්දයෙන් ගමේ දරුවන් උන්මාද වූ හෙයින් ඵුස්සගේ පියා ඔහුට දුනු ශිලපය ඉගැන්වී ය . පසුව මොහු ශබ්දය අනුව හා විදුලි එළියෙන් විදින සුළු වූයේ ය . මේ ආකාරයෙන් මෙහු විවිධ දෑ විනිවිධ යන ආකාරයෙන් හීය විදීමට සමතෙක් වී ය . මෙලෙස විදින දේ අතර අඟල් දාසයක ගනකම් දිඹුල් දැව පුවරු ද විය.37 මෙම සිදුවීම සිංහල ථූපවංසයෙහි ද සඳහන් වන අතර එහිදී දිඹුල් පුවරු යනු අට්ටික්කා ගසේ ලෑලි බව පෙන්වාදී ඇත.38

එමෙන් ම ඵුස්සදේව යෝධයා දක්ෂ ලෙස හීයෙන් විදීමේදී අට්ටික්කා ලෑලි මෙන් ම අඟල් දාසයක් ගනකම් මොර ලෑලි ද විදීමට සමත්ව ඇත. මහාවංසය, වංසත්ථප්පකාසිනීය හා සිංහල ථූපවංසය මෙම අවස්ථාව දැක්වීමේදී මොර ලෑලි හඳුන්වා ඇත්තේ ‘පියාපෝරු’ ලෙස ය .39 සිංහල ථූපවංසය යම් යම් වචන අර්ථ විවරණය කිරීමේදී ඵුස්සදෙව හීයෙන් විදින ලද පියා පුවරු, මොර ගසේ ලීයෙන් ලබා ගන්නා ලෑලි බව පෙන්වා දේ.40 මෙයින් පෙනී යන්නේ මොර ශාකය ද අනුරාධපුර යුගයේදී දැවමය වටිනාකමින් යුතු ශාකයක් ලෙස සමාජය හඳුනාගත් බව ය .

කාවන්තිස්ස රජු රජ බවට පත් වූ කාල වකවානුව ඉතා සරුසාර කාලයක් බවට පත් වූ බව ප්‍රාථමික මූලාශ්‍රය සඳහන් ය . මෙකල රාජධානිය මල් හා ගෙඩි හටගන්නා ‘පුන්නාග’ ආදී තවත් ගස් වර්ග රාශියකින් අලංකාර වී ඇත.41 ‘පුන්නාග’ යනු දොඹ ගස් බව පාලි සිංහල ශබ්දකෝෂය පෙන්වා දේ.42 එලෙස හඳුනාගන්නා දොඹ ශාකයේ හට ගන්නා මල් දේශීය ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව සාරාර්ථ සංග්‍රහයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ මෙකල සමාජය දොඹ ශාකය ඉතා හොඳින් හඳුනාගෙන සිටි බව ය .43

  • 37 ම. ව, (2008), 23, 87-88
  • 38 සි. ථූ. ව, පි. 125, 215
  • 39 ම. ව. (2008). 23, 82-88, වංස. පි. 361, සි. ථූ. ව, පි. 125
  • 40 සි. ථූ. ව, පි. 215
  • 41 සි. ධා. ව, පි. 483
  • 42 ශ්‍රී සුමංගල හිමි, පා. සි. ශ, පි. 390
  • 43 සාරා, 3 අ, පි. 139
අතීතයේදී ජනයා මී ශාකය බොහෝ සෙයින් තම කටයුතු සඳහා උපයෝගී කරගත් බව වංසකථා තුළින් පෙනේ. මහාවිහාර සීමා සළකුණු කරන අවස්ථාවේදී මී ශාකය උපයොගී කරගත් බව පළමුවෙන් ම තොරතුරු හමු වේ. එය ‘කුදුමීරුක’ ලෙස සිංහල මහාවංසයේ වේ.44 පාළි මහාවංසයේදී ‘ඛුජ්ජමධූලඤ්ච’ ලෙස එය දක්වා ඇත.45 කාවන්තිස්ස රජු මංගල මහා චෛත්‍ය කරවා එහි විහාරයක් ද කරවා එම විහාරයේ සීමා ලකුණු කිරීමේදී එක් මායිමක් ලෙස කුක්කුලසීව නම් උපාසකයාගේ ගමේ මී ගස සමීපයේ වූ ගොඩැල්ල ගෙන ඇති බව සිංහල ධාතු වංසයේ වේ.46 මෙම ශාකය මායිම් ලෙස යොදාගත් බව කිරිබත්වෙහෙර ටැම් ලිපියෙන් ද හමු වේ.47 මී ශාකය අනුරාධපුර යුගයේ ජනයා අතර බොහෝ ජනප්‍රිය වීම නිසා මෙලෙස මායිම්ට යොදාගත් බව සිතිය හැකි ය . සංඝතිස්ස රජු (ක්‍රි.ව. 247-251) හා මුගලන් සෙනෙවි අතර ඇති වූ සටනේදී සංඝතිස්ස රජුගේ ඇතා මී ගස් සෙවනකට ගොස් ඇති අතර එම ගසෙහි අත්තක වැදීමෙන් ඇතාගේ සේසත බිම වැටී ඇති බව මහාවංසයේ දෙවන කොටසේදී දක්වයි.48 මෙම විස්තරයෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට මී ශාක ස්වාභාවිකව ම විශාල වශයෙන් හටගත් බව ය . එමෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වන සෙල්ලිපිින් මෙම යුගයේදී මී ගස් නොකැපිය යුතු අවස්ථාවන් ද ඇති බව පෙන්වා දේ. උදාමහයාගේ පුලියම් කුලම් පුවරු ලිපියට අනුව එක්තරා විහාරයකට පවරා දුන් ගම් බිම් මී ගස් කැපීම රාජ කුලිකයන්ට තහනම් කර ඇත.49 එමෙන් ම මිහින්තලේ පුවරු ලිපියට අනුව එම විහාර භූමියට අයත් තල-මී ආදී ශාක ඵල හටගන්න ශාක ප්‍රධානීන්ගේ අවසරය නැතිව කැපිය නොහැක.50 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ මෙම ශාකය මායිම්ට යොදාගත් බව පමණක් නොව විශාල ආර්ථිකමය වටිනාකමක් ද හිමිකරගත් බව ය .

තව ද මී ගසෙන් තෙල් ලබා ගත් තෙල් ජනයාගේ ප්‍රයෝජනයට ලබා ගත් බව වංසකථා පවසයි. ඒ අනුව දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) ලෝවාමහාප්‍රාසාදය කරවන අවස්ථාවේදී සතර වාහල් දොර මී තෙල් පිරවූ සැලි සිය දහස් ගණනක් හා තවත් බොහෝ දේ ජනයාගේ සේවයට වේතන ලෙස තැබ්බවු බව සිංහල ථූපවංසයේ සඳහන් විය.51 භාතිකාභය (ක්‍රි.පූ 19-9) රජු රුවන්වැලිසෑ මළුවෙහි පූජා පවත්වන ලද අවස්ථාවේදී පහන් දැල්වීම සඳහා එක් තෙල් වර්ගයක් ලෙස මී තෙල් යොදාගත් බව මහාවංසයේ සඳහන් විය.52 පාලි මහාවංසයේදී මෙම තෙල් දක්වා ඇත්තේ ‘මධූකතෙලම්හි’ ලෙස ය .53දීපවංසය ද භාතිකාභය රජු මී තෙල් යෙදූ පහන් රුවන්වැලිසෑයට පූජා කරණ ලද බව සඳහන් කරයි.54 ථූපවංසය දක්වන්නේ මෙම රජු දාගැබ් මළුවේ සත් දවසක් මී තෙලින් පූජා පැවැත් වූ බව ය .55 සාමාන්‍යයෙන් මී තෙල් ලබා ගන්නේ මී ගසේ බීජිනි. මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ජනතාව තම තෙල් අවශ්‍යතාවයන් උදෙසා මී ගස උපයෝගී කරගත් බව ය . එමෙන් ම මොවුන් පොල් තෙල්ට හුරු වීමට ප්‍රථම මී ශාකයෙන් ලබා ගන්නා තෙල් එදිනෙදා කටයුතුට යොදා ගත් බව මෙම තොරතුරු අනුව අනුමාන කළ හැක.

  • 44 ම. ව, (2008). 15, 201
  • 45 ම. ව, (2006). 15, 201
  • 46 සි. ධා. ව, පි. 653-654
  • 47 Epigraphia Zeylanica, Vol 1, P 153
  • 48 ම. ව, (1996). 42, 1-18
  • 49 Epigraphia Zeylanica, Vol 1, P 182
  • 50 Epigraphia Zeylanica, Vol 1, P 75
  • 51 සි. ථූ, ව. පි. 145
  • 52 ම. ව, (2008). 34, 55
  • 53 ම. ව, (2006). 34, 56
  • 54 දීප, 21, 15
  • 55 සි. ථූ. ව, පි. 172
ඖෂධීය ගුණයෙන් යුත් ශාකයක් වන කොකුම් ශාකය ද අතීතයේදී ප්‍රයෝජනයට ගත් බව මහාවංසය හෙළිකරයි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) රුවන්වැලිසෑයෙහි වැඩ කටයුතු අවසන් වීමට ප්‍රථමයෙන් මරණාසන්න වූ අතර රජුගේ සොයුරු සද්ධාතිස්ස කුමරු රජු දුර්වල බැවින් සන්නාලියන් ලවා සුදු රෙදිින් ආවරණයක් මස්සවා එයින් සෑය ආවරණය කර සිතුවම් ආදිය ඇඳ දුටුගැමුණු රජුට සෑයෙහි වැඩ අවසන් යයි පැවසූයේ ය . සෑයෙහි සිත්තම් ඇදීමේදී යොදාගෙන ඇත්තේ ලාකඩ හා කොකුම් ආදිය බව සිංහල මහාවංසය ප්‍රකාශ කරයි.56 පාලි මහාවංසය මෙහිදී කොකුම් දක්වා ඇත්තේ ‘කුංකුම’ ලෙස ය .57 එම අවධියේදී කොකුම් ශාකය සිතුවම්කරණය උදෙසා ප්‍රයෝජනයට ගත් බව මෙයින් පෙන්.

මහරුක්අත්තන නම් ශාකයක් පිළිබඳව වංසකථා දක්වයි. මෙය රුක්අත්තන ශාකය දැයි පැහැදිලිව දක්වා නැත. එහෙත් ‘රුක්අත්තන’ යන්න යෙදීමට පෙර ‘මහ’ යන පදය මෙහිදී යොදාගෙන ඇත්තේ විශේෂණයක් ලෙස බව ද සිතිය හැක. එම සිදුවීම මෙසේ ය . එක්තරා කාන්තාවක් දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ 161-137) කාලයේ රුවන්වැලිසෑය ඉදිකිරීමේදී බැළ මෙහෙවරකම් කර දෙව්ලොව සම්පත් බොහෝමයක් ලබා උපත ලැබුවා ය . මෙතරම් සම්පත් තමාට ලැබීමට හේතුව රුවන්වැලි සෑය ඉදිකිරීමේදී කළ ක්‍රියාවන් යයි දැන ගත් ඇය දෙව්ලොව ඇති සුවඳ මල්, සුවඳ, පිළි රැගෙන විත් දාගැබ පිදුවා ය . මෙම දිව්‍ය ස්ත්‍රිය දැක මහාසීවලී නම් තෙර කෙනෙකු මහරුක් අත්තන ගහ මුල වැඩ සිට ඇයගේ ශරීරයෙන් එතරම් ආලෝකයක් විසිරීමට හේතුව විමසා ඇත.58

අරළු නම් ශාකය විවිධ සත්කාර සඳහා අනුරාධපුරය යුගයේදී යොදාගත් බව සිංහල ථූපවංසය අධ්‍යයනයෙන් පෙනේ. විහාරමහා දේවිය මියයාමට ආසන්න සාමණේරයන් වහන්සේ නමකට තම කුසෙහි පිළිසඳගන්නා ලෙස දෙවරක්ම ආරාධනා කළ ද උන්වහන්සේ එම ආරාධනාවන් ප්‍රතික්ෂේප කළ සේක. තුන් වන අවස්ථාවේදී විහාරමහා දේවිය අරළු ඇතුළු තවත් බොහෝ දේ සාමණේරයන් වහන්සේගේ නමින් මහා සංඝයාට පූජා කළ අතර මෙම අවස්ථාවේදී වැඩි වැඩියෙන් පින්කරගැනීමේ අදහසින් සාමණේරයන් අපවත්ව විහාරමහා දේවියගේ කුසෙහි පිළිසිඳගෙන ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් වේ.59 විහාර මහා දේවිය මෙම අවස්ථාවේදී මරණාසන්න සාමනේරයන් වහන්සේට අරළු පූජා කර ඇත්තේ එය මරණයට හේතුවන රෝග පවා සුව කිරීමට සමත් ඖෂධයක් බව සාමාන්‍ය ජන විශ්වාසයේ තිබෙන නිසා විය හැකි ය . එමෙන් ම මෙම සිදුවීමෙන් පෙනී යන්නේ අරළු ශාකයට එම යුගයේදී ලැබුණු වටිනාකම ය .

  • 56 ම. ව, (2008). 32, 6
  • 57 ම. ව, (2006). 32, 6
  • 58 සි. ථූ. ව, පි. 162
  • 59 සි. ථූ. ව, පි. 113
කරාඹුනැටි ශාකයේ ඉතිහාසය ද අනුරාධපුර යුගය දක්වා දිව යන බව වංසකථා තුළින් පෙනී යයි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ පස්පලවතින් බුලත් සූදානම් කර ඇත. මෙම පස්පලවතින් යන වර්ගයන් අතරට ‘ලමඟ’ යන ද්‍රව්‍ය ද අයත් ය .60 * ලමඟ යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ කරාඹුනැටි ය .61 එපමණක් නොව දුටුගැමුණු රජතුමා රුවන්වැල්සෑය ඉදිකරන දිනදී ද පෙර සඳහන් කළ පරිදි විවිධ ආහාරපාන ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත. ආහාර මෙන් ම ලමඟ ආදී පස්පලවතින් බුලත් ද තබ්බවා ඇත.62 රුවන්වැලිසෑයෙහි ධාතු නිදන්කරන දින ද රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූ අතර එයින් පෙනෙන්නේ මෙම කඩ කරාඹුනැටි ද තැබ්බවූ බව ය .63 මෙම සිදුවීම අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ජනයා බොහෝ සේ බුලත් ආහාරයට ගත් බව ය . එමෙන් ම මෙලෙස බුලත් ආහාරයට ගැනීමේදී මොවුන් පුවක් මෙන් ම තවත් ද්‍රව්‍ය කිහිපයක් ම එයට එක් කරගත් බව පෙනේ.

කළුවැල් නමින් හැඳින්වූ ශාකයක් අතීත ලංකාවේ තිබූ බව වංසකථා තුළින් හෙළි වේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර එහි කළුවැල් ආදී සුවඳ ද්‍රව්‍ය ඇති සල්පිල් ද තිබූ බව සිංහල බෝධිවංසය සඳහන් කරයි.64 දේවානම්පියතිස්ස රජතුමා මහාවිහාර සීමා ලකුණු කරන අවස්ථාවේදී එම අවස්ථාව සුවඳවත් කරගැනීමට විවිධ සුවඳ ද්‍රව්‍ය යොදාගෙන ඇති බවද එහි වේ. එයට අනුව මෙම සුවඳ ද්‍රව්‍ය අතර ‘කළුවැල්’ ද තිබී ඇත.65 ථුපවංසය, දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ 161-137) යෝධයකු වන සුරනිමල යෝධයා පිළිබඳව සඳන් කරන අවස්ථාවේදී කළුවැල් පිළිබඳව දක්වා ඇත. මේ අනුව නිමිල නම් වූ පුද්ගලයාගේ හැකියාව පිරික්සීමටදීඝාභය කුමරු ඔහු අතට ලියුමක්දී එම ලියුම කුණ්ඩල නම් බමුණා වෙත ලබාදී බමුණා ලබා දෙන කළුවැල් ආදී තවත් සුවඳ ද්‍රව්‍යන් කිහිපයක් රැගෙන එන ලෙස දන්වා ඇත. මෙහිදී නිමිල නමින් හැඳින්වූ පුද්ගලයා පසුව සුරනිමල යෝධයා බවට පත් වී ඇත.66 එමෙන් ම කිත්සිරිමේඝ රජුගේ (ක්‍රි.ව. 303-331) සමයේදී දළදා වහන්සෙට පූජා පැවැත්වීමේදී කළුවැල් සුවඳ ද්‍රව්‍යක් ලෙස යොදාගත් බව දාඨාවංසය දක්වයි.67 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී කළුවැල් යොදාගෙන ඇත්තේ සුවඳ ද්‍රව්‍යයක් ලෙස බව ය .

  • 60 සි. ථූ. ව, පි. 222
  • * පස්පලවතින් - බුලත්විටට ගන්නා වූ කපුරු, තකුල්, නාරං පොතු, කරාබුනැටි, ඉඟුරු.
  • 61 සි. ථූ. ව, පි. 151, 222
  • 62 සි. ථූ. ව, පි. 158
  • 63 සි. ථූ. ව, පි. 178
  • 64 සි. බෝ. ව, පි. 163
  • 65 සි. බෝ. ව, පි. 174
  • 66 සි. ථූ. ව, පි. 120
  • 67 දාඨාවංසය, සංස්: පිරතන හිමි වෑගම, (2008), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි. 121
මිහිඳු මාහිමි මහාවිහාරයේ අනාගත ඉදිකිරීම් ප්‍රකාශ කරන අවස්ථාවේදී මහ මිදෙල්ල ගස මුලට වැඩ එම ස්ථානයේ අනාගතයේදී ලෝවාමහාපාය ඉදිවන බව පවසා ඇත.68 මෙයින් පෙනී යන්නේ මෙම යුගයේදී මිදෙල්ල නම් ශාකය පිලිබඳව ද ජනයා දැනුවත්ව සිටි බව ය .

දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 250-210) මහා විහාරයේ සීමා ලකුණු කරන අවස්ථාවේදී එක් සීමාවක් ලෙස මහඅඟුණු රුක යොදාගෙන ඇත. මෙම ශාකය කුඹුකන් පළටත් කොරමයිල්ලටත් අතර පිහිටා තිබූ බව සිංහල ථූපවංසයේ සඳහන් ය .69 සාමන්‍යයෙන් අඟුණ වැල් වශයෙන් හට ගනී. අඟුණ රුක් පිළිබඳව තොරතුරු නොමැත. එහෙත් ‘රුක් අඟුණ’ යනුවෙන් ශාකයක් ඇත. මෙය දේවානම්පියතිස්ස රජ සමයේ පැවති මහඅඟුණ රුක යන ශාක වර්ගය ද යන්න නිශ්චිතව පැවසිය නොහැක.

කාවන්තිස්ස රජු රජ බවට පත් වූ කාල වකවානුව ඉතා සරුසාර කාලයක් බවට පත්වූ අතර මෙකල රාජධානිය මල් හා ගෙඩි හටගන්නා කුරවක ආදී තවත් ගස් වර්ග රාශියකින් අලංකාර වී ඇත.70 කුරවක යනු රත්කරඬු ගස් බව පාළි සිංහල ශබ්දකෝෂය පෙන්වා දේ.71

එමෙන් ම කාවන්තිස්ස රජජතුමා රජ බවට පත්වූ කාලයේදී රාජධානියේ තිබූ බව පැවසෙන ගස් වර්ග අතර ‘තමාල’ නම් ශාක විශේෂයක් ද තිබී ඇත.72 තමාල යනු තමලු ගස් බව පාලි සිංහල ශබ්දකෝෂය පෙන්වා දේ.73

  • 68 පූජා, 33, 493
  • 69 සි. බෝ. ව, පි. 175
  • 70 සි. ධා. ව, පි. 483
  • 71 පා. සි. ශ, පි. 257
  • 72 සි. ධා. ව, පි. 483
  • 73 පා. සි. ශ, පි. 304
වංසකථා තුළ දක්නට ලැබෙන ශාක අතර අඹ ශාකයට ද ප්‍රධාන තැනක් හිමි වේ. ප්‍රථමයෙන් ම මෙම ශාකය පිළිබඳව දක්නට ලැබෙන්නේ මිහිඳුහිමියන්ගේ ලංකා ගමන පිළිබඳව දක්වන අවස්ථාවේදී ය . මිහිඳුහිමියන් ඇතුළු පිරිස පොසෙන් පොහෝදා ලංකාවට පැමිණ ‘මිශ්‍රක පර්වතයේ පියල්කුල උතුම් රුචිර අඹ තලයෙහි වැඩසිටි’ බව මහාවංසයේ සඳහන් ය .74 මිහිඳු හිමි දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) හමු වූ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කිරීමට ප්‍රථමයෙන් රජුගේ බුද්ධිය මැනගැනීමට ප්‍රශ්න කිහිපයක් විමසුවේ ය . එම සංවාදය මෙසේ වී ය .


‘මිහිඳු හිමි : මහ රජ මේ රුක කිනම්ද?
රජ : මේ තුර අඹ නමැ.
මිහිඳු හිමි : මේ හැර අඹ රුකෙක් ඇත්ද?
රජ : බොහෝ අඹ තුරු ඇත්තාහ.
මිහිඳු හිමි : මේ අඹ තුර ද ඒ අඹ තුරු ද හැර වෙන තුරු ඇත්ද?
රජ : වහන්ස, බොහෝ තුරු ඇත්තාහ. ඒ තුරු අඹ නොවෙති.
මිහිඳු හිමි : ඒ අඹත් නොඅඹත් ඇර වෙන තුරු ඇත්ද?
රජ : ස්වාමීනි, මේ අඹ රුකය.
මිහිඳු හිමි : නරේශ්වරය පණ්ඩිතයෙහි’ 75

දේවානම්පියතිස්ස රජතුමාගෙන් මිහිඳුහිමි අඹ රුක සම්බන්ධව ගැටළු විමසූ බවදීපවංසයේ ද බෝධිවංසයේ ද දක්වා ඇත.76 එහෙත් පූජාවලිය දක්වන්නේ මිහිඳුහිමි මෙම ප්‍රශ්න මාලාව ඇසීමේදී මී අඹ ගසක් පෙන්වා ඇති බව ය .77

  • 74 ම.ව, (2008). 13, 20
  • 75 ම.ව, (2008). 14, 17-20
  • 76 දීප, 12, 53, සි. බෝ. ව, පි. 160
  • 77 පූජා, 33, පි. 492
මෙම අවස්ථාවෙන් පසුව මහාවංසයේ අඹ වෘක්ෂය පිළිබඳව සඳහන් වන්නේ දෙවනපෑතිස් රජුගේ (ක්‍රි.පූ. 250-210) සොහොයුරා පිළිබඳව සඳහන් වන සිදුවීමකදී ය . දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වන මහානාග යුවරජ මහරජුට ප්‍රිය වූ යුව රජෙකි. මේ නිසාවෙන් දේවානම්පිතිස්ස රජු මීළඟ රජු ලෙස මහානාග යුවරජ පත් කරාවි යයි බිය වූ රජුගේ බිසව තම පුතුට රජකම ලබාදීමේ අරමුණින් මහානාග යුවරජු මැරවීමට විෂ යෙදූ අඹයක් අඹ සමඟ තබා යුව රජු හට යැව්වා ය . එම බිසවගේ පුතු යුවරජු හා ගිය අතර යුවරජු මැරවීමට තැබූ අඹය පුංචි කුමරුවා අනුභව කර මිය ගිය බව මහාවංසයේ සඳහන් ය .78 ථූපවංසය හා රාජාවලිය ද මෙම අවස්ථාව ම දක්වා ඇති අතර එහිදී විෂ යෙදූ අඹ භාවිතා කළ බව ද දක්වයි.79 පෙර අවස්ථා දෙකේදී ම පාළි මහාවංසය අඹ වෘක්ෂය නම් කර ඇත්තේ ‘අම්බ රුක්ඛා’හා ‘අම්බං’ ලෙස ය .80 කාවන්තිස්ස රජතුමා ත්‍රිපිටක තිස්ස නම් තෙරුන්ගෙන් බුද්ධ සිංහනාද නම් සූත්‍රය අසා සතුටට පත්ව උතුරු සළුව පූජා කිරීමට සිතමින් සිටියදී කපුටෙක් අඹ ගසක අතු අතර සැඟවීසිට රජු වෙත පණිවිඩ පහක් පවසා ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් විය.81 දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ පානවර්ග අතර අෂ්ටවිධ පානවර්ග* ද තිබී ඇත. අෂ්ටවිධ පාන වර්ග අතරට අඹ මිරිකාගත් බීම ද අයත් බව සිංහල ථූපවංසයේ අර්ථ විවරණයේ සඳහන් ය . මෙම දිනයේදී රජු ජනයා වෙනුවෙන් අඹ මිරිකා සාදාගත් බීම ද තබා ඇති බව මෙයින් පෙනේ.82

අඹ ශාකය මෙන් ම එම වෘක්ෂයේ ම ප්‍රභේදයක් වන පැණි අඹ නම් ශාකය පිළිබඳව තොරතුරු මහාවංසයේ පළමු කොටසේදී ම දැකගත හැක. මිහිඳු හිමි ලංකාවට වැඩම කර මහමෙව්නා උයනෙහි ඉදිකිරීම් ලකුණු කරන අවස්ථාවේ පොහෝ ගෙය පිහිටුවීමට සීමා ලකුණු කර එතැනින් පිටත්ව පැණඹ මළුවට පැමිණ ඇත. එම අවස්ථාවේදී ඉතා හොඳින් ඉදුණු වර්ණ ගන්ධ රසයෙන් යුක්ත වූ අඹ ගෙඩියක් උයන්පල්ලා මහරජුට එවා ඇත. රජු ඒ අඹය මිහිඳු හිමිට පූජා කළ අතර හිමි එය අනුභව කර එහි බීජය පැළකරණු පිණිස රජුට ලබා දුන්නේ ය . රජු එය රෝපණය කළ පසු හිමි එය පැළවෙනු පිණිස ඒ මත අත් ධෝවනය කළ සේක. ඉන්පසුව එම බීජය වැඩී විශාල ගසක් වූ අතර මෙය පසුව භික්ෂූන්ට උපන් ලාභය සමඟිව බෙදන ස්ථානය ලෙස නම් කළේ ය .83 පාලි මහාවංසයේදී මෙම පැණි අඹ මළුව දක්වා ඇත්තේ ‘පඤහම්බමාලකට්ඨානං’ ලෙස ය .84 මෙම සිදුවීම සිංහල බෝධිවංසයේ ද සඳහන් වේ. එහිදී මෙම සිදුවීම මහාවංසයේ දක්වා ඇති පරිදි පැනඹමලුවේදී සිදු වූ බව දැක් වූව ද සිදුවීම හා සම්බන්ධ අඹ ශාකය ‘මී අඹ’ බව දක්වා ඇත.85 මෙහි දැක් වූ පැණි අඹ යනු මී අඹ ම ද යන්න සොයා බැලීම වටී. සාමාන්‍ය ජන විශ්වාසය අනුව නම් පැණි අඹ ලෙස හඳුනාගන්නේ මී අඹ ය .

  • 78 ම.ව, (2008). 22, 4-5
  • 79 සි. ථූ. ව, පි. 111, රාජා, පි. 174
  • 80 ම.ව, (2006). 14, 17-18, 22, 4
  • 81 සි. ධා. ව, පි. 491
  • * අෂ්ටවිධපාන වර්ග - අඹ, දඹ, කෙසෙල්, ඇට කෙසෙල්, මී, මිදි, බොරලුදමුනු, ඹලු යන ද්‍රව්‍ය මිරිකා සාදාගන්නා බීම වර්ග අට. සි. ථූ. ව, පි. 200
  • 82 සි. ථූ. ව, පි. 151, 200
  • 83 ම.ව, (2008). 15, 38-46
  • 84 ම.ව, (2006). 15, 38
  • 85 සි. බෝ. ව, පි. 167
අනුරාධපුර යුගයේදී දිවුල් ශාකය ආශ්‍රිතව තාක්ෂණික අංශයට ප්‍රයෝජන ලබා ගත් බව වංසකථා අධ්‍යයනයෙන් පෙනී යයි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේ පාදම දැමීමේ එක් අවස්ථාවකදී යොදාගත් අමුද්‍රව්‍ය අතර ගල් තට්ටුව මත රසදියෙන් මිශ්‍ර කළ ‘ගිවුලු මැලියම්’ යොදාගෙන අඟල් අටක් ගනකම් ලෝහ තහඩුවක් ඇතිරවීම සිදු වූ බව මහාවංසය ප්‍රකාශ කරයි.86 ‘ගිවුලු’ යනු දිවුල් බව සිංහල ථූපවංසයේ අර්ථවිවරණයේදී සඳහන් වේ.87 සිංහල ථූපවංසය දක්වන්නේ මෙම අවස්ථාවේදී රසදියෙන් හා ‘ගිවුල් ලාටු’ින් අනන ලද මැටි මත අඟල් අටක් ගනකම් තඹ තහඩුවක් ඇතිරූ බව ය . මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ ඉදිකිරීම් කටයුතුදී බන්ධකයක් වශයෙන් දිවුල් ශාකයෙන් ලබා ගන්නා මැලියම් යොදාගත් බව ය .

‘දඹ’ නම් පළතුරු වර්ගය අනුරාධපුර යුගයේදී පැවති බව මහාවංසය හෙළි කරයි. එම විස්තරයට අනුව සඟතිස් රජු (ක්‍රි.ව. 247-251) ජම්බු අනුභවයට මාතොට පටුනෙන් එහා මුහුඳ මැද ඇති පාචීනදීපයට යයි. මෙම ප්‍රදේශයේ වාසය කරන මිනිසුන් රජුගේ ගමනින් අපහසුතාවයට පත් වී රජුගේ පරිභෝජනයට සුදුසු ජම්බු ගෙඩිට වස දැමූහ. වස සහිත ජම්බු ආහාරයට ගත් රජු එහිදී ම මියගියේ ය .88 සිංහල මහාවංසයේ මෙම සිදුවීම දක්වන අවස්ථාවේදී එක් ස්ථානයක මෙම ගෙඩි වර්ගය ‘දඹ ඵල’ ලෙස ද තවත් ස්ථානයක ‘ජම්බු’ ලෙස ද සඳහන් වේ. පාළි මහාවංසය මෙම අවස්ථාවේදී යෙදුනු ගෙඩි වර්ගය ‘ජම්බු’ ලෙස ම දක්වා ඇත.89 දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ පානවර්ග අතර අෂ්ටවිධ පානවර්ග ද තිබී ඇත. අෂ්ටවිධ පාන වර්ග අතරට දඹ මිරිකාගත් බීම ද අයත් ය .90 එයින් පෙනී යන්නේ මෙම දිනයේදී රජු ජනයා වෙනුවෙන් ජම්බු මිරිකා සාදාගත් බීම ද තබා ඇති බව ය . සිංහල ථූපවංසයේ වචන අර්ථවිවරණයේදී පෙන්වා දෙන්නේ ද දඹ යනු ජම්බු බව ය .91 මහාවංසයේ දඹ යනු ජම්බු බව හඳුන්වා දුන්න ද වියළි කලාපයේ ජනයා දඹ ලෙස හඳුනා ගන්නනේ ‘මා දං’ ය .

  • 86 ම.ව, (2008). 29, 11
  • 87 සි. ථූ. ව, පි. 210
  • 88 ම.ව, (2008). 36, 70-71
  • 89 ම.ව, (2006). 36, 70
  • 90 සි. ථූ. ව, පි. 151, 200
  • 91 සි. ථූ. ව, පි. 151, 214
දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ පානවර්ග අතර අෂ්ටවිධ පානවර්ග ද තිබී ඇත.92 අෂ්ටවිධ පාන වර්ග අතරට බොරලුදමුණු මිරිකාගත් බීම ද අයත් ය . බොරලු දමුණු යනු උගුරැස්ස බව සිංහල ථූපවංසයේ අර්ථ විවරණයේදී සඳහන් කරයි.93 එමෙන් ම ‘බොරළු දමුණු යනුදු උගුරැස්සට සමාන නම් වෙයි’ යන්න අරිසෙන් අහුබුදු මහතා ආයුර්වේද සමීක්ෂා නම් ලිපි සංග්‍රහයේදී දක්වා ඇත. එහිදී එම මහතා පෙන්වා දෙන්නේ පිට ලෙල්ල දම් පැහැ උණු යන අර්ථයෙන් ‘දමුණු’ යන්න සෑදී ඇති බවත් බොරලුකැට තරම් වූ දමුණු බොරලු දමුණු යන්න වන බවත් ය .94 මෙයින් පෙනී යන්නේ මෙම දිනයේදී රජු ජනයා වෙනුවෙන් උගුරැස්ස මිරිකා සාදා ගත් බීම වර්ග ද තැබූ බව ය .

එමෙන් ම නාරං යනුවෙන් හඳුනා ගන්නා ශාකය අතීතයේදී ප්‍රයෝජනයට ගත් බව වංසකථා තුළින් හෙළි වේ. රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගඩොල තබන දින ජනයා වෙනුවෙන් රජු පස්පලවතින් බුලත් ද සූදානම් කර ඇත. පස්පලවතින් යන වර්ගයන් අතරට ‘නාරඟ’ යන ද්‍රව්‍ය ද අයත් බව සිංහල ථූපවංස අර්ථ විවරණයේ සඳහන් වේ. ‘නාරඟ’ යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ ‘නාරං පොතු’ ය . මේවා ‘පාලඟ’ ලෙස ද හඳුන්වන බව එහි වේ.95 දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) රුවන්වැල්සෑය ඉදිකරන දිනදී නාරංග ආදියෙන් යුක්ත වූ පස්පලවතින් බුලත් ද වාසල් දොරටුවෙහි තබ්බවා ඇත.96 මෙහි නාරංග යනුවෙන් දක්වා ඇත්තේ ද නාරං ගෙඩියෙහි ලෙල්ල බව සිංහල ථූපවංස අර්ථවිවරණයේ සඳහන් ය .97 එමෙන් ම රුවන්වැලිසෑයෙහි ධාතුනිදන් කරන දින රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූයේ ය . මෙම කඩ තිබූ දේ අතර නාරං පොතු ද වූ බව මෙයින් හෙළි වේ.98 අතීතයේදී නාරං ගෙඩියෙහි ලෙල්ල බුලත් සමඟ ආහාරයට ගත් බව මෙම තොරතුරුින් පෙනී යයි.

  • 92 සි. ථූ. ව, පි. 151
  • 93 සි. ථූ. ව, පි. 200
  • 94 අරිසෙන් අහුබුදු, “පලතුරු විසිතුර”, ආයුර්වේද සමීක්ෂාව, සංස්: අමරසිරි පොන්නම්පෙරුම, දේශීය වෛද්‍ය අමාත්‍යංශය, (1987), 168
  • 95 සි. ථූ. ව, පි. 151, 222
  • 96 සි. ථූ. ව, පි. 158
  • 97 සි. ථූ. ව, පි. 219
  • 98 සි. ථූ. ව, පි. 178
එමෙන් ම කොස් ශාකය පිළිබඳව ද එය අහාරයට ගන්නා ආකාරය පිළිබඳව ද යම් යම් තොරතුරු වංසකථා තුළින් හමු වේ. කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධාරී මහා භික්ෂු සංඝයා හට වැල වරකා ආදී බොහෝ ආහාර ද්‍රව්‍ය පිළිගන්වා ඇති බව සිංහල ධාතුවංසයේ සඳහන් වේ.99

එමෙන් ම දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී රටේ නන් දෙසින් පැම්ණි ජනයා තම ප්‍රදේශ පහළ වූ වස්තූන් රජුට ගෙනැවිත්දී වස්තුන් පහළව ඇති බව රජුට සැලකළ බව මහා වංසයේ සඳහන් ය . එම විස්තරය අතර රිදී හමු වූ ආකාරය ද වේ. ඒ අනුව වෙළෙන්දෙක් හිඟුරු ආදිය ගෙන ඒමට මලය රටට යන අතරතුර සැලියක් පමණ ගෙඩියක් හට ගෙන එහි බරින් නැමුනා වූ කොස් පැළයක් දැක ඇත. එම කොස් ගෙඩියේ බරින් එම ගස නැමී ඇති නිසා එම කොස් ගෙඩිය ගලක් මත රැඳී ඇත. මෙය දුටු වෙළෙන්දා කොස් ගෙඩිය නැට්ටෙන් කපාගෙන ඇති අතර එලෙස කැපූ පසු එම කොස් ගස පෙර පැවති ආකාරයෙන් කෙළින් වී ඇත. මෙහි මුල් කොටස සංඝයාට නොදී ආහාරයට නොගන්නා බව සිතා මෙම වෙළෙන්දා ශ්‍රද්ධාවෙන් සංඝයාට කාලඝෝෂා කළේ ය . ඉන් පසු රහතන් වහන්සේලා සිව් නමක් වැඩි අතර උන් වහන්සේලා වැඳ ආදර සහිතව වැඩ හිඳුවා පිහියෙන් එය තුවටුව හාත්පස සිවිය කපා වහල්ල ඉවත් කර ආවාටය පුරා සිටි යුෂ පතින් ගෙන යුෂින් පුරවන ලද ඒ පාත්‍ර සතර උන් වහන්සේලාට ප්‍රදානය කරන ලදී. උන් වහන්සේලා එය ගෙන වැඩියේ ය . මොහු නැවතත් කාළඝෝෂා කළේ ය . එවිට නැවතත් රහතන් වහන්සේලා සිව් නමක් වැඩි අතර උන්වහන්සේලාට ද පාත්‍ර පුරවා වරකා මදුළු දන් දුන්නේ ය . ඉන් තුන් නමක් පිටව ගිය අතර එක් නමක් මේ වෙළෙන්දාට ඒ අසළ ඇති රිදී පිරුණු ගුහාවකට මාර්ගයක් පාදාදී ඇත. වෙළෙන්දා මේ රිදී පිළිබඳව පසුව දුටුගැමුණු රජුට දන්වා ඇත.100 මේ විස්තරයෙන් පෙනීයන්නේ මේ යුගයේදී කොස් ශාකයේ ඵල ද එහි පැණි දියරමය පානයක් ලෙස ද ආහාරයට ගත් බව ය . සිංහල ථූපවංසය ද මෙම කොස් ශාකය පිළිබඳව හා එම සිදුවීම පිළිබඳව ඒ ආකාරයෙන් ම දක්වයි.101

දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුවෙන් සූදානම් කළ ආහාර අතර වැල හා වරකා තිබී ඇත.102 මින් පසුව ද සෑය ඉදිකරන විට ජනයා වෙනුවෙන් ආහාරයක් ලෙස වැල හා වරකා වාහල්කඩ දොරටුවෙහි තැබූ බව සිංහල ථූපවංසයේ සඳහන් වේ.103 දුටුගැමුණු රජතුමා තමන්ගේ වියදමින් ලංකාව පුරා බණ දේශනා කිරීමට පණ්ඩිතයින් යොදවා ඇති අතර මෙම පණ්ඩිතයිනට රජු වැල වරකා ආදී බොහෝ දේ පිරිනමා ඇත.104

  • 99 සි. ධා. ව, පි. 486
  • 100 ම.ව, (2008). 28, 21-35
  • 101 සි. ථූ. ව, පි. 148
  • 102 සි. ථූ. ව, පි. 151
  • 103 සි. ථූ. ව, පි. 158
  • 104 සි. ථූ. ව, පි. 193
කෙසෙල් ශාකය සැරසිලි කටයුතු උදෙසා බොහෝ සෙයින් යොදාගත් බව වංසකථා තුළ සඳහන් තොරතුරු අනුව පෙනී යයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) නගරය අලංකාර කර තිබූ අතර වීදි කෙසෙල් ගස්ින් හා පුන්කලස්ින් සරසා තිබූ බව සිංහල බෝධිවංසයේ සඳහන් ය .105 දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය ඉදිකිරීමට යන අවස්ථාවේදී ධාතු ලබාගන්නේ කෙසේද යන්න සුමනසානේරයනගෙන් විමසා ඇත. එම අවස්ථාවේදී සුමනසාමනේරයන් රජතුමාට පවසා ඇත්තේ ඒ පිළිබඳව නොසිතා නගරයේ මාර්ග සකසා අලංකාර කරන ලෙස ය . එලෙස අලංකාර කිරීමේදී කෙසෙල් තොරණ ආදියෙන් වීදී අලංකාර කරන ලෙස සුමනසාමනේරයන් දේවානම්පියතිස්ස රජුට පවසා ඇත.106 මෙයින් පෙනෙන්නේ මෙකල මාර්ග අලංකාර කිරීමට කෙසෙල් ගස් යොදාගත් බව ය . දේවානම්පියතිස්ස රජතුමා මෙම අවස්ථාවේදී හා ශ්‍රී මහා බෝධිය වැඩමවීමේදී ද මාර්ග අලංකාර කිරීමට කෙසෙල් ගස් යොදාගත් බව සිංහල බෝධිවංසය ද ප්‍රකාශ කරයි.107 දේවානම්පියතිස්ස රජතුමා බෝධිය රක්ෂා කරන මහලේනාවරුන්ගේ වංශය මෙරට පිහිටුවීමට කටුයුතු කිරීමේදී සුනන්දා නම් සාමනේරීන් සිවුරු හරවා මාළිගයට වැඩමවා ඇත. එම අවස්ථාවේදී රජු මාර්ගය පිළිසකර කරවා කෙසෙල් තොරණ නැංවීම් ආදිය සිදු කර ඇයව පිළිගෙන ඇත.108

මහානාග රජතුමා බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ මාගමට වැඩමවීමේදී තමන්ගේ නිවාස දොරකඩ කෙසෙල් තොරණ ඉදිකරන ලෙස ජනයාට දන්වා යවා ඇති බව සිංහල ධාතු වංසයේ සඳහන් විය.109 කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධාරී මහා භික්ෂු සංඝයා හට කෙසෙල් ආදී බොහෝ ආහාර වර්ග පිළිගන්වා ඇති බව ද එහි සඳහන් ය .110 දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමට මංගල ගඩොල තැබීමට ප්‍රථමයෙන් විසාඛය, සිරිදෙවය යන ඇමතියන් දෙදෙනාට ස්ථූපය ඉදිවන ස්ථානය සැරසීමට නියෝග කළේ ය . ඔවුන් මෙම ස්ථානයේ කෙසෙල් තොරණ නංවා විවිධ වූ තවත් අලංකරණ උපායන් යොදවා අලංකාර කර ඇත.111 එමෙන් ම රුවන්වැලිසෑයේ ධාතු නිධාන උත්සවය දින ද රජුගේ නියෝගයෙන් මාර්ගය අලංකාර කිරීමේදී ජනයා කෙසෙල් තොරණ පංක්තීන් යොදාගෙන ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් ය .112 එමෙන් ම කිත්සිරිමේඝ (ක්‍රි.ව. 303-331) රජුගේ කාලයේදී ද කෙසෙල් ගස් මාර්ගය සැරසීමට යොදා ගත් බව දාඨාවංසයෙහි ද සඳහන් ය .113

  • 105 සි. බෝ. ව, පි. 163
  • 106 සි. ථූ. ව, පි. 102
  • 107 සි. බෝ. ව, පි. 19
  • 108 සි. බෝ. ව, පි. 204
  • 109 සි. ධා. ව, පි. 441
  • 110 සි. ධා. ව, පි. 486
  • 111 සි. ථූ. ව, පි. 151
  • 112 සි. ථූ. ව, පි. 178
  • 113 දාඨා, පි. 120
අලංකාර කටයුකු උදෙසා මෙන් ම ආහාරයක් ලෙස ද කෙසෙල් ශාකය යොදා ගත් බව වංසකථා තුළින් පෙනේ. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ දේ අතර ආහාරයක් ලෙස කෙසෙල් ද පානයක් ලෙස ඇටකෙසෙල් පැන් ද තිබී ඇත. ඇට කෙසෙල් යුෂින් ඇට කෙසෙල් පැන් සාදාගනී. තව ද මෙහිදී අෂ්ටවිධ පාන වර්ග ජනයා වෙනුවෙන් සූදානම් කර තිබූ බව සිංහල ථූපවංසයේ සඳහන් ය . මෙම පාන වර්ග අටට ඇට කෙසෙල් මිරිකාගත් බීම මෙන් ම කෙසෙල් මිරිකාගත් බීම ද ඇතුලත් වේ.114 එමෙන් ම සෑය ඉදිකරන දිනදී පවා ජනයා නෙුවෙන් විවිධ ආහාර පාන වාසල් දොරකඩ තබා ඇත. මේ ආහාර අතර කෙසෙල් ද තිබී ඇත.115 රුවන්වැලිසෑයේ ධාතුනිධාන උත්සවයේදී දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) දුප්පත් මිනිසුන්ගේ පරිභෝජනය උදෙසා ඇට කෙසෙල් පැන් ඇතුළු අටළොස් වර්ගයක පාන වර්ග සතර වාසල් දොරටු තබ්බවා ඇත.116 දුටුගැමුණු රජතුමා තමන්ගේ වියදමින් ලංකාව පුරා බණ දේශනා කිරීමට පණ්ඩිතයින් යොදවා ඇත. මෙම පණ්ඩිතයිනට රජු කෙසෙල් ආදී බොහෝ දේ පිරිනැමූ බව සිංහල ථූපවංසයේ සඳහන් වේ.117 ශාක ගෘහාශ්‍රිතකරණය වීමේදී ඇටි කෙසෙල් නම් ශාකයේ ඵල වර්තමානයේ අප ආහාරයට ගන්නා කෙසෙල්වල ස්වභාවයට පරිවර්තනය වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. ඇටි කෙසෙල් බීජ ප්‍රමාණය වැඩි අතර එම බීජ විශාලත්වයෙන් ද වැඩි ය . ශාක ගෘහාශ්‍රිතකරණය වීමේදී මෙම බීජ ප්‍රමාණය කුඩා වී එම ඵලයේ මාංසලමය ස්වභාවය වැඩි වී ඇත. එහෙත් අනුරාධපුර යුගයේ ජනයා ඇටි කෙසෙල් ද ආහාර සඳහා යොදාගත් බව වංසකථා තුළ සඳහන් වේ. එමෙන් ම ඇටි කෙසෙල් ගුණ පිළිබඳව සාරාර්ථ සංග්‍රහයේ ද සඳහන් වීමෙන් පෙනී යන්නේ ඇටි කෙසෙල් එකල ජන සමාජය සමඟ බැඳී පැවති ශාකයක් බව ය .118 එහිදී එය කාෂ්ඨකදලී හෙවත් කැට කෙසෙල් ලෙස දක්වා ඇත. මේ තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට ද ශාක ගෘහාශ්‍රිතකරණය වීම නිමා වී නොතිබුණ බව ය . එසේ වුව ද මෙම ජනයාගේ දක්ෂතාවය සියල්ල ඉක්මවා ගොස් තිබූ බව සාරාර්ථ සංග්‍රහයෙන් පෙනේ. එම ග්‍රන්ථයට අනුව අනුරාධපුර යුගයේ ජනයා කෙසෙල් මල් හා ගෙඩි ගුණ පිළිබඳව ද ඒවායින් වෛද්‍ය ප්‍රතිකාර කරන ආකාරය ද දැන සිටි බව පෙනී යයි.119

  • 114 සි. ථූ. ව, පි. 151, 200
  • 115 සි. ථූ. ව, පි. 151, 200
  • 116 සි. ථූ. ව, පි. 178
  • 117 සි. ථූ. ව, පි. 193
  • 118 සාරා, 3 අ, පි. 148
  • 119 සාරා, 3 අ, පි. 142, 147
ඈත අතීතයේදී ජනතාව අතර ජනප්‍රිය වූ තාල වර්ගයේ ශාක කිහිපයක් ද වංසකථාවලින් හමු වේ. වර්තමානයේදී පවා ලංකාවේ ජනයාගේ කප්රුක ලෙස සලකන්නේ පොල් ශාය යි. වංසකථා දක්වන ආකාරයට පොල් ශාකයේ ඉතිහාසය කුවේනියගේ යුගය දක්වා ම දිව යයි. රාජාවලියට අනුව කුවේනිය විජය කුමරු හමු වූ මුල් දිනයේදී කුමරුටත් යෝධයන්ටත් ආහාර ලබාදීමේදී පොල් හා හාල් භාවිතා කර ඇත.120 මහාවංසය පොල් ගස පිළිබඳව දැක්වීමේදී එය දක්වා ඇත්තේ ‘නාළිකෙරතරුං’ හා ‘නාළිකෙරානං’ ලෙස ය .121 මේ අනුව එම ශාකය පිළිබඳව ප්‍රථමයෙන් ම හමු වන්නේ ථෙරපුත්තාභය යෝධයා පිළිබඳව සඳහන් වන අවස්ථාවේදී ය . ථෙරපුත්තාභය යෝධයා කුඩා කල සතර පස් දෙනෙකුටවත් උසුලාගත නොහැකි ගල් විසිකරමින් ක්‍රීඩා කර ඇත. වයසින් වියපත් වෙත්ම ඔහුගේ පියා ඔහුට යගදාවක් තනා දුන් අතර මෙම යෝධයා එම යගදාවෙන් ගසා පොල් ගස් බිම හෙළා ඇත.122 සිංහල ථූපවංසය ද මෙලෙස ථෙරපුත්තාභය යෝධයා යගදාවෙන් ගසා පොල් ගස් බිම දැමූ බව දක්වා ඇත.123 දුටුගැමුණු (ක්‍රි.පූ. 161-137) එළාර සටනේදී දුටුගැමුණු කුමරුගේ යෝධයන් පිරිස විජිතපුර බලකොටුව බිඳ එයට ඇතුළුවීමේදී විවිධ දෑ ආයුධ ලෙස රැගෙන ගොස් ඇත. එහිදී ගෝඨයිම්බර යෝධයා රැගෙන ගොස් ඇත්තේ නෙරළු තුරකි.124 මෙම අවස්ථාවේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් පහරදීමට යොදාගත් බව සිංහල ථූපවංසය ද සඳහන් කරයි.125 මහානාග රජුගේ (ක්‍රි.ව. 573-575) සොයුරාගේ පුතා වූ අක්බෝ කුමරු ‘කුරුන්ද’ නම් විහාරයක් කරවා එයට තුන් යොදුනක නෙරළු අරමක් ලබාදී ඇත.126 දෙවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 650-659) පොල් වතු කරවා ඇත.127 අග්බෝ කුමරුගේ හා දෙවන කාශ්‍යප රජුගේ තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට පොල් ගස ආර්ථිකමය වටිනාකමක් ඇති ශාකයක් ලෙස සැලකූ බව ය .

පොල් ගස් ගැන මෙන් ම කුරුම්බා වතුර පානයක් ලෙස භාවිතයට ගත් බව හා පොල් ආහාරයක් ලෙස භාවිතයට ගත් බව වංසකථා සඳහන් වේ. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ ආහාරයක් ලෙස ‘පොල්’ ද පානයක් ලෙස ‘කසපැන්’ ද තිබී ඇති බව සිංහල ථූපවංසයේ සඳහන් ය . මෙහිදී ‘කසපැන්’ ලෙස හඳුන්වා ඇත්තේ කුරුම්බා වතුර බව ද එහි අර්ථ විවරණයේදී සඳහන් විය.128 එමෙන්ම සෑය ඉදිකරන දිනයන්හිදී ද මේ ආකාරයෙන් වාසල් දොරකඩ කසපැන් තබා ඒවායින් ජනයාට සංග්‍රහ කර ඇති බව ද සිංහල ථූපවංසයේ වේ.129 තව ද රුවන්වැලිසෑයේ ධාතු නිධාන උත්සවයේදී දුටුගැමුණු රජු දුප්පත් මිනිසුන්ගේ පරිභෝජනය උදෙසා කස පැන් ඇතුළු අටළොස් වර්ගයක පාන වර්ග සතර වාසල් දොරටු තැබ්බවූ බව ද එහි සඳහන් විය.130 පොල් ශාකයේ ඵල ආහාර හා පාන උදෙසා පමණක් නොව දේශීය ආයුර්වේද ප්‍රතිකාර උදෙසා ද යොදාගත් බව සාරාර්ථ සංග්‍රහයෙන් පෙනී යයි.131

  • 120 රාජා, පි. 170
  • 121 ම.ව, (2006). 23, 59, 25, 45
  • 122 ම.ව, (2008). 23, 55-60
  • 123 සි. ථූ. ව, පි. 123
  • 124 ම.ව, (2008). 25, 44-46
  • 125 සි. ථූ. ව, පි. 137
  • 126 ම.ව, (1996). 41, 15-17
  • 127 ම.ව, (1996). 42, 147
  • 128 සි. ථූ. ව, පි. 151, 206
  • 129 සි. ථූ. ව, පි. 158
  • 130 සි. ථූ. ව, පි. 178
  • 131 සාරා, 3 අ, පි. 149-150
කාශ්‍යප රජ (ක්‍රි.ව. 477-495) දවස කාන්තාවක් විසින් තැඹිලි කිරෙන් පිසින ලද බතක් රජු ආහාරයට ගැනීමෙන් එය භික්ෂූන්ට සුදුසු යයි සිතා භික්ෂූන්ට පූජා කළ බව මහාවංසයේ දෙවන කොටසෙහි වේ.132 මෙයින් පෙනී යන්නේ මෙම යුගය වන විට තැඹිලි ශාකයේ ප්‍රයෝජන පිළිබඳව ද ජනයා ඉතා හොඳින් දැන සිටි බව ය . එමෙන් ම එහි ගුණ පිළිබඳව අනුරාධපුර යුගයේ ජනයා හොඳින් දැන සිටි බව ද සාරාර්ථ සංග්‍රහය අනුව පෙනී යයි.133

වංසකථාදී තල් ශාකය පිළිබඳව ප්‍රථමයෙන් ම සඳහන් වෙන්නේ පණ්ඩුකාභය කුමරු පිළිබඳව සඳහන් අවස්ථාවේදී ය . පණ්ඩුකාභය කුමරු චේතියා වෙළඹ අල්වාගන්නා අවස්ථාවේදී ඇය ‘තිඹිරි විල’ වටා සත් වාරයක් දිව නැවත එම විල වටා තුන් වාරයක් දිව පසුව ‘කච්ඡක’ නම් තොටින් ගඟට බැස ඇත. එවිට පණ්ඩුකාභය කුමරු වෙළඹගේ් වල්ගයෙන් අල්වාගෙන දියෙහි යන තල් පතක් ගෙන ඇත. කුමරුගේ පින් මහිමයෙන් එම තල් පත කඩුවක් බවට පත් වූ බව මහාවංසය වාර්තා කරයි. මෙහිදී තල් පත ලෙස දක්වා ඇත්තේ තල් කොළයකි.134 පාළි මහාවංසය මෙම තල්පත දක්වා ඇත්තේ ‘තාලපත්තං’ ලෙස ය .135 තව ද පණ්ඩුකාභය කුමරු රාජ්‍ය අත් කර ගත් පසු වැදි දෙවියාට තල් (දෙවොල) ලබාදී ඇත.136 මෙම වෘක්ෂය පිළිබඳව නැවත තොරතුරු හමුවන්නේ එළාර රජ දවස ය . එළාර රජ දවස මහජනයාගේ සාධාරණත්වය උදෙසා හඬවනු පිණිස රජුගේ ඇඳ ඉස්මත්තේ පසෙක දිග යොතකින් අදිනු හැකිව මිණියක් එල්වී ය . දිනක් තල් ගසක සිටි ලිහිණි පැටියෙක්ව සර්පයෙක් ආහාරයට ගත් නිසා මවු ලිහිණියා මිණිය හඬවා ඇත. රජු සර්පයා ගෙන්වා උගේ බඩ පලා ඒ පැටියා එළියට ගෙන සර්පයා එම තල් ගසේ ඇණ ගස්සවා ඇත.137

  • 132 ම.ව, (1996). 39, 16-18
  • 133 සාරා, 3 අ, පි. 150
  • 134 ම.ව, (2008). 10, 53-60
  • 135 ම.ව, (2006). 10, 59
  • 136 ම.ව, (2008). 10, 89
  • 137 ම.ව, (2008). 21, 19-20
එමෙන් ම කාවන්තිස්ස රජු ගැමුණු කුමරු වෙත යෝධයන් රැස් කරන ආකාරය දක්වන අවස්ථාවේදී මහා සෝණ යෝධයා පිළිබඳව දක්වා ඇත. එම විස්තරයට අනුව ‘කුළුම්බරී කර්ණිකායෙහි හුන්දිරිවාපී’ නම් ගමේ තිස්ස නම් ධනවතාට සොණ යන නම් ඇති පුතෙක් වී ය . මොහු වයස අවුරුදු හතේදී තල් පැළ ඉදිරී ය . අවුරුදු දහයේදී මහා බලයක් ඇති අයෙක් වී තල් ගස් ඉදිරුවේ ය . කල් යන විට මොහු ඇතුන් දහයකගේ බලය ඇති අයෙක් වී ය . මේ ශක්තිවන්තයා පිළිබඳව තොරතුරු දැනගත් කාවන්තිස්ස රජු මොහුව කැඳවා දුටුගැමුණු කුමරු හට ලබාදී ඇත.138 මෙම සිදුවීම සිංහල ථූපවංසයේ ද සඳහන් ය . එහිදී කතුවරයා කුඩා තල්ගස් ‘කොරතල්’ ලෙස ද විශාල ප්‍රමානයේ තල්ගස් ‘මහතල්’ ලෙස ද දක්වා ඇත.139 එමෙන් ම දුටුගැමුණු එළාර සටනේදී දුටුගැමුණු කුමරුගේ යෝධයන් විජිතපුර බලකොටුව බිඳ එයට ඇතුළු වන විට මහාසෝන යෝධයා ඇතුළුව ඇත්තේ තල් රුකක් අතැතිව ය .140 පෙර අවස්ථාදී මෙන් ම මෙම අවස්ථාවේදී ද තල් ගස පාළි මහාවංසයේ දක්වා ඇත්තේ ‘තාලරුක්ඛෙ’ ලෙස ය .141 ඉහත ආකාරයෙන් ගෝඨයිම්බර යෝධයා විජිතපුර සටනේදී තල් ගසක් පහරදීමට යොදාගත් බව සිංහල ථූපවංසය ද සඳහන් කරයි.142 ගෝඨාභය යෝධයාගේ අතීත සිදුවීම් දක්වන මහාවංස කතුවරයා හා සිංහල ථූපවංස කතුවරයා දක්වන්නේ ඔහු වයස අවුරුදු දොළහේදී අඟල් තිස් අටක වට ප්‍රමාණයක් ඇති රියන් දොළහක් දිග ඇති යගදාවකින් ගසා තල් ගස් බිම දැමූ බව ය .143 එමෙන් ම තල් ශාකයේ පත්‍රින් මෙම යුගයේදී කුඩ සෑදූ බව වංසකථා තුළින් හෙළිවේ. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී භික්ෂුවක් ගඩොලක් සාදා එය රජුගේ ගඩොලක් සමඟ සඟවා වඩුවාට ලබාදී ඇත. මෙය දැනගත් රජතුමා තල් කොළින් සෑදූ කුඩයක් ඇතුළු තවත් වටිනා දේ එම භික්ෂුව නොමිලයේ ලබා දුන් ගඩොලට මිල ලෙස ලබා දෙන්නට සේනා ප්‍රධානියෙකුට පවරා ඇත. මෙහිදී තල් කොළින් සෑදූ කුඩය ‘පත්කුඩය’ ලෙස නම් කර ඇත.144 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ තල් ශාකයෙන් ශක්තිමත් බව සංකේතවත් කිරීමට වංසකථාකරුවා උත්සාහ ගත් බවය. එමෙන් ම මෙම ශාකයේ පත්‍රින් කුඩ නිර්මාණය කළ බවද පෙනී යයි. ඒ ආකාරයෙන් සමාජයට සමීප වූ තල් ශාකයට විශාල වටිනාකමක් හිමි වූ බව සෙල්ලිපි තුළින් පෙනී යයි. උදාමහයාගේ පුලියම් කුලම් පුවරු ලිපියට අනුව එම විහාරයට අයත් ගම් බිම්වල තල් ගස් කැපීිම රාජ කුලිකයන්ට තහනම් කර ඇත.145 එමෙන් ම මෙම ශාකය දේශීය ආයුර්වේද ප්‍රතිකාර උදෙසා යොදාගන්නා ආකාරය පිළිබඳව ද අනුරාධපුර යුගයේ ජනතාව දැනසිටි බව සාරාර්ථ සංග්‍රහය අධ්‍යයනයෙන් පෙනී යයි.146

  • 138 ම.ව, (2008). 23, 46-47
  • 139 සි. ථූ. ව, පි. 121
  • 140 ම.ව, (2008). 25, 44-46
  • 141 ම.ව, (2006). 21, 19
  • 142 සි. ථූ. ව, පි. 137
  • 143 ම.ව, (2008). 23, 55-60, සි. ථූ. ව, පි. 123
  • 144 සි. ථූ. ව, පි. 161
  • 145 Epigraphia Zeylanica, Vol , P 182
  • 146 සාරා, 3 අ, පි. 151
වංසකථා පුවක් ශාකය පිළිබඳව ද තොරතුරු වේ. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ සූදානම් කළ ආහාර අතර පුවක් ද තිබූ බව ථූපවංසය සඳහන් කරයි.147 රුවන්වැලිසෑයෙහි ධාතු නිදන් කරන දින රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූ බව ද එහි සඳහන් ය .148 ක්‍රිස්තුවර්ෂ දහවන සියවසේ පසු කොටසට අයත් යයි සලකන එප්පාවලින් හමු වූ ලිපියකය අනුව විහාරයක පුවක් සඳහා දෙ අකක් වෙන් කර ඇත.149 * එමෙන් ම බදුලු ටැම්ලිපියට අනුව බුලත්පුවක් මණ්ඩපයක තබා විකිණිය යුතු බව දක්වා තිබීමෙන් පෙනී යන්නේ ආහාර හඳහා ගන්නා මෙම ද්‍රව්‍ය සෟඛ්‍ය ආරක්ෂිත බව කෙරෙහි ද රජය අවධානය යොමු කළ බව ය .150 එමෙන් ම පොළොන්නරු රාජසභාවේ ටැම් ලිපියෙහි පුවක් හේනක් ඇතිකළ බව සඳහන් ය .151 මෙම තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී බුලත් සමඟ පුවක් ආහාරයට ගත් බවත් එහිදී පුවක් ශාකය සඳහා ද ඉතා හොඳ වටිනාකමක් පැවති බවත් ය . තව ද එම ජනයා පුවක් ස්වභාවය හා ගුණයන් පිළිබඳව හොඳ අවබෝධයකින් සිටි බව ද සාරාර්ථ සංග්‍රහයෙන් පෙනී යයි.152

පුවක් ශාකය පිළිබඳව තවත් තොරතුරු අභයනාග (ක්‍රි.ව. 236-244) කුමරුගේ කාලයෙන් හමුවේ. ඒ අනුව සිරිනාග රජුගේ (ක්‍රි.ව. 195-214) පුත් තිස්ස හා සොයුරු අභයනාග අතර ඇති වූ ආරවුලින් අභයනාග ලක්දිවින් පලා ගිය අතර ලක්දිව වාතාවරණය සෙවීම සඳහා චරපුරුෂයන් යොදවා ඇත. මේ අතර අභයනාගගේ සොයුරා වූ සුභදෙව රජු කරා ගොස් සහෝදරයෙකු මෙන් රජු සමඟ වාසය කර රජු හා මහජනයා භේද කර වී ය . මේ අතර අභයනාග සුභ දෙවගෙන් තතු දැනගැන්මට චරපුරුෂයෙක් එවා ඇත. මේ අවස්ථාවේදී සුභ දෙව රටේ වාතාවරණය චරපුරුෂයා වෙත පෙන්වා ඇත්තේ ඔහු පුවක් ගසක වට කරකැවෙමින් කුන්ත යෂ්ටියෙන් හාරා එම ගසෙහි මුල් දුර්වල කොට තමන්ගේ අතින් ගස බිම දමා දූතයා හට තර්ජනය කර පලවා හැරීමෙනි.153 පාලි මහාවංසයෙ මෙම අවස්ථාවේදී පුවක් ශාකය දක්වා ඇත්තේ ‘පූගරුක්ඛං’ ලෙස ය .154

  • 147 සි. ථූ. ව, පි. 151
  • 148 සි. ථූ. ව, පි. 178
  • 149 Epigraphia Zeylanica, Vol 3, P 188
  • * අක - කහවනුවෙන් 1/8
  • 150 Epigraphia Zeylanica, Vol 5, P 177 Epigraphia Zeylanica, Vol 3, P 71
  • 151 Epigraphia Zeylanica, Vol 4, P 34
  • 152 සාරා, 3 අ, පි. 153
  • 153 ම.ව, (2008). 36, 44-48
  • 154 ම.ව, (2006). 36, 47
කාවන්තිස්ස රජු රජ බවට පත් වූ කාලය දැක්වීමේදී හින්තාල ආදී තවත් ගස් වර්ග කිහිපයක් පිළිබඳව සිංහල ධාතුවංසය දක්වයි.155 හින්තාල යනු කිතුල් ගස් බව ද ඒවා හින්තාලං ලෙස ද හඳුන්වනු ලබන බව ද පාලි සිංහල ශබ්දකෝෂයේ සඳහන් ය .156

අනුරාධපුර යුගයේදී ලංකාවේ තිබූ බවට හෙළිවන ශාක අතරින් කුඩා ප්‍රමාණයේ ශාක කිහිපයක් පිළිබඳව ද තොරතුරු හෙළි වේ. ඒ අනුව අතීතයේදී දෙව්දුරු යන නමින් හැඳින් වූ ශාකයක් තිබූ බව වංසකථා අධ්‍යයනයේදී පෙනී යයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර අනුරාධපුර නගරයට ප්‍රවේශ වන විට දේවානම්පියතිස්ස රජු නගරය අලංකාර කර තිබූ අතර එහි ‘දෙව්දුරු’ ආදී සුවඳ ද්‍රව්‍ය ඇති සල්පිල් ද තිබී ඇත.157 මෙහි ‘දෙව්දුරු’ යනුවෙන් සඳහන් කර ඇත්තේ දේවදාර ගස් ආශ්‍රිතව කළ නිෂ්පාදනයක් හෝ දුරු ප්‍රභේදයක් වන ‘දේවදුරු’ විය හැක. එහෙත් දේවදාර ශාකය සංස්කෘත භාෂාවේදී දේවදාරු ලෙස හඳුනා ගනී.158 දුරු විශේෂයක් වන දේවදාරු හඳුනා ගන්නා තවත් නාමයකි ‘දේවදුරු’ හෙවත් ‘දෙව්දුරු’.159 මෙයින් පෙනී යන්නේ සිංහල බෝධි වංසය දක්වන දෙව්දුරු දුරු විශේෂයක් වන දේවදුරු බව ය . මෙම දේවදුරු නම් ශාකයේ ඇට සුවඳවත් බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ.160 ඒ අනුව දේවානම්පියතිස්ස රජු නගරය අලංකාර කිරීමට යොදාගත් සුවඳ දූව්‍ය අතර වූ දෙව්දුරු මෙම දේවදුරු බව සැක රහිතව පෙන්වාදිය හැක.

වංසකථා අධ්‍යයනයෙන් හෙළි වන තොරතුරු අනුව පෙනී යන්නේ ඈත අතීතයේදී ජනතාව කපු නම් ශාක වර්ගය තම ප්‍රයෝජනයට ගන්නා ආකාරය දැන සිටි බව ය . විජය කුමරු ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කටනා තව්සියක වේශයෙන් රුකක් මුල සිට ඇති බව මහාවංසයේ සඳහන් විය.161 එයින් පෙනී යන්නේ මේ අවධිය වන විට ලක්දිව ජනයා කපු ආශ්‍රිත නිර්මාණ කිරීමෙන් හා තාක්ෂණය භාවිතා කිරීමෙන් සන්නද්ධව සිටි බව ය .

  • 155 සි. ධා. ව, පි. 483
  • 156 ශ්‍රී සුමංගල හිමි, පා. සි. ශ, පි. 542
  • 157 සි. බෝ. ව, පි. 163
  • 158 මල්හින්න කේ, (1994), IV කා. ඔ. වි, පි. 39-40
  • 159 රත්නායක එස්, (1994), IV කා. ඔ. වි, පි. 23
  • 160 ආ. ඖ. ස. (1985), I පිය, III කො, පි. 230-231
  • 161 ම.ව, (2008). 7, 11
කපුකිනිස්ස බුලත් සමඟ ආහාරයට ගත් බවට වංසකථා තුළින් තොරතුරු හෙළිවේ. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුවෙන් පස්පලවතින් බුලත් සූදානම් කර ඇත.162 මෙම පස්පලවතින් යන වර්ගයන් අතරට තකුල් යන ද්‍රව්‍ය ද අයත් ය . තකුල් යනුවෙන් මෙහිදී හඳුන්වා ඇත්තේ කපුකිනිස්ස බව සිංහල ථූපවංසයේ සඳහන් ය .163 එමෙන් ම දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදිකරන දිනදී ද විවිධ ආහාරපාන ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත. ආහාර මෙන් ම තකුල් ආදී පස්පලවතින් බුලත් ද තබ්බවා ඇත.164 රුවන්වැලිසෑයෙහි ධාතුනිදන්කරන දින රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූ බව ද සිංහල ථූපවංසයේ සඳහන් ය .165 මෙම කඩ තිබූ ද්‍රව්‍ය අතර කපුකින්සස ද තිබූ බව මෙයින් පෙනේ. බීජ බුලත් සමඟ ආහාරයට ගන්නා නිසා පස්පලවතින් බුලත් අතරට කපුකින්ස්ස එක්වන්නට ඇත.

එමෙන් ම ඉඹුරු නම් ගස් වර්ගයක් පිළිබඳව ද මහාවංසයෙහි සඳහන් වේ. පසුකාලීනව ගෝඨයිම්බර යෝධයා ලෙස ප්‍රසිද්ධ වූ ගෝඨක මිටි සිරුරකින් යුතු වූ නිසා සොහොයුරෝ ඔහුට විහිළු කරති. දිනක් මෙම සොහොයුරෝ උඳු වැපිරීමට මහ වනයට ගොස් වනය කොටා ගෝඨකගේ කොටස ඉතිරි කර ඒ බව ගෝඨකට දැන්වූහ. ගෝඨක එවෙලේ ම ගොස් ඉඹුරු ගස් උදුරා බිම සමකර සොයුරන්ට ඒ බව දැන්වී ය . මෙයින් කීර්තියට පත් මොහුව පසුව ගෝඨයිම්බර ලෙස හඳුන්වා ඇති බව මහාවංසයේ සඳහන් ය .166 පාලි මහාවංසය ඉඹුරු ගස් හඳුන්වා ඇත්තේ ‘ඉම්බරසඤ්ඤිතෙ’ ලෙස ය .167 මෙම සිදුවීම සිංහල ථූපවංසය ද දක්වන අතර ගෝඨක නැමැත්තා ඉඹුරු වනය තම්පලා පැළ උදුරන්නා සේ උදුරා ඇති බව එහි දැක්වේ.168

වැටකේ නම් ශාක වර්ගය පිළිබඳව ද මහාවංසයෙන් තොරතුරු හෙළි වේ. වළගම්බා රජු (ක්‍රි.ව. 87-76) ද්‍රවිඩයන් සත් දෙනෙක් රාජධානිය ආක්‍රමණය කළ අවස්ථාවේදී පලා ගොස් වෙස්සගිරි විහාරය අසල වනයේ සැඟව සිටින විට කුත්ථික්කුල මහා තිස්ස ස්ථවිර තෙමේ රජුව දැක ආහාර ලබාදී ඇත. එයින් පැහැදුනු රජු වැටකේ පතක ලියා ඒ විහාරයට සංඝ භෝග ලබාදී ඇත.169 අනුරාධපුර යුගය වන විට ලේඛන කලාව තුළ වැටකේ ශාක පත්‍ර ලිවීම ද වූ බව මෙම සිදුවීමෙන් පෙනී යයි.

  • 162 සි. ථූ. ව, පි. 151
  • 163 සි. ථූ. ව, පි. 222, 212
  • 164 සි. ථූ. ව, පි. 158
  • 165 සි. ථූ. ව, පි. 178
  • 166 ම.ව, (2008). 23, 49-54
  • 167 ම.ව, (2006). 23, 52
  • 168 සි. ථූ. ව, පි. 122
  • 169 ම.ව, (2008). 33, 50-52
දුටුගැමුණු කුමරු මෙළොවට බිහි වූ දින හිමාලයේ සිට මෙරටට පැමිණි ඇතින්නක් රූණේ මුහුඳ ළඟ කඩොල් කැළයක තම පැටවා බිහිකර පැටවා මෙහි දමා නැවත හිමාලයටම ලොස් ඇති බව රාජාවලියේ සඳහන් ය . මෙයින් පෙනී යන්නේ අතීතයේදී ද මුහුඳ ආශ්‍රිතව කඩොලාන ශාකය පැවති බව ය .

එමෙන් ම තෘණ පවුලට අයත් වන ශාක කිහිපයක් ද මෙම වංසකථා අතර වේ. ප්‍රාථමක මූලාශ්‍රයක් වන මහාවංසයේ ‘උණ ශාකය’ පිළිබඳව සඳහන් වන්නේ එක් අවස්ථාවකදී පමණි. එම අවස්ථාව ද ඉතා දුර්ලභ අවස්ථාවකි. දේවානම්පියතිස්ස කුමරු රජ (ක්‍රි.පූ. 250-210) බවට පත් වූ දින අරුම පුදුම සිදුවීම් කිහිපයක් සිදු වී ය . එදින උණ යෂ්ටි තුනක් ජාත පර්වතය පාමුල උපන්නේ ය .170 මෙම පර්වතය අනුරාධපුරයට ගිනිකොණ දිශාවෙන් යොදුන් දෙකකට වැඩි දුරකින් පිහිටියේ ය . මෙම ස්ථානයෙහි පසු කාලයේදී සැදෑතිස් රජතුමා ‘ජාත විහාරය’ නමින් විහාරයක් ද කරවා ඇත.171 මෙම උණ යෂ්ටි ප්‍රමාණයෙන් රිය කෙවිටි තරම් වූ බව මහාවංසය දක්වයි. එම උණ යෂ්ටි නම්,

  1. ලතා යෂ්ටි (ලතායට්ඨි) - මෙහි ලතාවෝ කලධෞත වර්ණයෙන් යුක්ත විය. සිත්කලු ඒ ලතාවෝ රන්වන්ව සිත් ඇදගන්නා සුළු ආකාරයෙන්
  2. පැනනැගෙති.
  3. කුසුම යෂ්ටි (කුසුමයට්ඨි)- මෙහි නොයෙක් වර්ණ ඇතිනොයෙක් කුසුමයෝ හටගනිති.
  4. සකුණ යෂ්ටි (සකුණයට්ඨි) - එහි නොයෙක් වූ වර්ණ ඇති නානා වර්ගයේ මෘග පක්ෂීහු දිවිඇත්තවුන් සේ පැනනැගෙති 172

  • 170  ම.ව, (2008). 11, 10
  • 171 වංස, පි. 226
  • 172 ම.ව, (2008). 11, 10-13, ම.ව, (2006). 11, 10-13
දීපවංසය ද දේවානම්පියතිස්ස කුමරු රජ බවට පත් වූ දින සිදු වූ විශ්මිත සිදුවීම් දක්වන අවස්ථාවේදී මහාවංසය දක්වන ආකාරයටම උණ ශාකයන් පහළ වූ බව සඳහන් කරයි.173 සිංහල ථූපවංසය ද එය ඒ ආකාරයෙන් ම දක්වන අතර එම ශාකයන් පිළිබඳව මදක් සවිස්තරව දක්වා ඇත. ඒ අනුව කුසුම යෂ්ටියෙහි නිල්, පඬු, රත්, කළු හා සුදු යන වර්ණින් ඇති මල් නැටි, පෙති හා රේණු ඉතා හොඳින් දිස්වෙන අතර ශකුණ යෂ්ටියෙහි ජීවමාන සතුන් ලෙස හංසයන්, කුකුළන් හා ජීවං ජීවක යන පක්ෂීන් පෙනේ.174 පූජාවලිය දක්වන්නේ එය ඊට මදක් වෙනස් ආකාරයෙන් ය . එහිදී මේ විස්තරයට වඩා වෙනස් වන්නේ පුෂ්ප යෂ්ටි දක්වන අවස්ථාව ය . ඒ අනුව පුෂ්ප යෂ්ටි ‘නිල්ව පස්වනක් පැහැ ඇති නන් විසිතුරු මල් ජාතීන් අතුරු නැතිව විසිතුරු විය’ ලෙස දක්වා ඇත.175 මෙම අවස්ථාව පිළිබඳව වාර්තා කරන සිංහල බෝධි වංසය දක්වන්නේ උණ පඳුරක රථයක් පැදවීමට ගන්නා කෙවිටක ප්‍රමාණයෙන් පැහැයෙන් සාරවත් වූ හා සිත්ගන්නා සුලු වූ විසිතුරු යෂ්ටීන් තුනක් ඇති වූ බවය. ඉහත සඳහන් ආකාරයට ම මෙම යෂ්ටීන් ද ලතා යෂ්ටි, කුසුම යෂ්ටි, ශකුන යෂ්ටි ලෙස නම් වී ය . මෙම යෂ්ටි හටගෙන ඇත්තේ ‘සෑපවුගල් පාමුල’ බව ද එම ග්‍රන්ථය වාර්තා කරයි.176

උණ ශාකයේ ස්වරූපයට යම් සෙයකින් සමාන තෘණ පවුලට අයත් තවත් ශාකයකි උක් ශාක ය . ප්‍රාථමික මූලාශ්‍රය එන තොරතුරු අනුව පෙනී යන්නේ මේ අවධිය වන විට උක් ශාකය හකුරු සාදා ගැන්මට පවා භාවිතා කළ බව ය . කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධාරී මහා භික්ෂු සංඝයා හට චතුමධුර, උක් ආදී තවත් ආහාර ද්‍රව්‍ය බොහෝමයක් පිළිගන්වා ඇත.177 චතුමධුර යනුවෙන් හඳුන්වනුයේ වර්ග හතරක මිහිරි ආහාර ද්‍රව්‍යයි. මේවා අතරට උක් සකුරු ද අයත් බව සිංහල ථූපවංසයේ අර්ථ විවිරණයේ සඳහන් වේ.178 විහාරමහා දේවිය මිය යාමට ආසන්න සාමනේරයන් වහන්සේ නමකට තම කුසෙහි පිළිසිඳගන්නා ලෙස දෙවරක් ම ආරාධනා කළ ද උන්වහන්සේ එම ආරාධනාවන් ප්‍රතික්ෂේප කළ සේක. තුන් වන අවස්ථාවේදී විහාරමහා දේවිය උක්සකුරු ඇතුළු තවත් බොහෝ දේ සාමණේරයන් වහන්සේගේ නමින් මහා සංඝයාට පූජා කළ අවස්ථාවේදී වැඩි වැඩියෙන් පින්කර ගැනීමේ අදහසින් සාමණේරයන් විහාරමහා දේවියගේ කුසෙහි පිළිසිඳගෙන ඇති බව ද සිංහල ථූපවංසයේ වේ.179

  • 173 දීප, 11, 16-18
  • 174 සි. ථූ. ව, පි. 99
  • 175 පූජා, 33, 488
  • 176 සි. බෝ. ව, පි. 154
  • 177 සි. ධා. ව, පි. 485-486
  • 178 සි. ථූ. ව, පි. 210
  • 179 සි. ථූ. ව, පි. 113
එමෙන් ම දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) ලෝවාමහාපාය ඉදි කරන විට ජනයාගේ වේතන උදෙසා සතර වාහල් දොරටුවේ උක් සකුරු ආදී තවත් බොහෝ දේ තබ්බවා ඇත.180 දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගඩොල තබන දිනය උදෙසා රජු විශාල උත්සවයක් සූදානම් කර ඇත. මෙහිදී මංගල්‍ය පිණිස සූදානම් කළ ආහාර අතර උක් සකුරු ද තිබූ බව මහාවංසය වාර්තා කරයි.181 මේ අවස්ථාවේදී උක් දඬු ආහාරයක් ලෙස ද උක් පැන් පානයක් ලෙස ද තිබූ බව සිංහල ථූපවංසය සඳහන් කරයි.182 දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගඩොල තබා රහතුන් වහන්සේ හා පෘථග්ජන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් දින හතක් පුරාවට මහ දන්දී ඇත. එහිදී දන් දුන් දේ අතර උක් සකුරු ද තිබී ඇත.183 එමෙන් ම සෑයෙහි ගඩොල් බඳින කාලයේදී එහි සේවය කළ ජනයාට රිසි සේ පරිහරණය කිරිමට රජු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක් දොරටු අසල තබ්බවා ඇත. එම ද්‍රව්‍ය අතර ආහාරයක් ලෙස උක්සකුරු ද තිබී ඇත.184 සිංහල ථූපවංසය දක්වන්නේ මෙම කාලයේ දුටුගැමුණු රජු වාසල් දොරකඩ තැබූ ද්‍රව්‍ය අතර උක් හා තවත් පළතුරු වර්ග බොහෝමයක් තිබූ බව ය .185 දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී භික්ෂුවක් ගඩොලක් සාදා එය රජුගේ ගඩොලක් සමඟ සඟවා වඩුවාට ලබාදී ඇත. මෙය දැනගත් රජතුමා උක් සකුරු ඇතුළු තවත් දේ එම භික්ෂුව නොමිලයේ ලබා දුන් ගඩොලට මිල ලෙස ලබා දෙන්නට සේනා ප්‍රධානියෙකුට පවරා ඇත.186 රුවන්වැලිසෑයේ ධාතු නිධාන උත්සවයේදී දුටුගැමුණු රජු දුප්පත් මිනිසුන්ගේ පරිභෝජනය උදෙසා උක් පැන් ඇතුළු අටළොස් වර්ගයක පාන වර්ග සතර වාසල් දොරටු තබ්බවා ඇත.187 දුටුගැමුණු රජු ධාතුන් වහන්සේ රුවන්වැලිසෑයෙහි නිදන් කර අවසානයේදී රහතුන් වහන්සේලා අනූහය කෝටියකට උක්සකුරු ඇතුළු තවත් බොහෝ දේ පූජා කර ඇත.188 දුටුගැමුණු රජතුමා තමන්ගේ වියදමින් ලංකාව පුරා බණ දේශනා කිරීමට පණ්ඩිතයින් යොදවා ඇත. මෙම පණ්ඩිතයිනට රජු උක්සකුරු හා උක් දඬු ආදී බොහෝ දේ පිරිනමා ඇත.189

  • 180 සි. ථූ. ව, පි. 145
  • 181 ම.ව, (2008). 29, 28
  • 182 සි. ථූ. ව, පි. 151
  • 183 සි. ථූ. ව, පි. 157
  • 184 ම.ව, (2008). 30, 19
  • 185 සි. ථූ. ව, පි. 158
  • 186 සි. ථූ. ව, පි. 161
  • 187 සි. ථූ. ව, පි. 178
  • 188 සි. ථූ. ව, පි. 188
  • 189 සි. ථූ. ව, පි. 193
තව ද මහාසිළු මහාතිස් රජු (ක්‍රි.ව. 76-62) ස්වර්ණගිරියෙහි තුන් අවුරුද්දක් උක් යත උසුලා එයින් කුලී උක් සකුරු ලැබ එම උක් සකුරු ගෙන්වාගෙන නුවරට පැමිණ භික්ෂු සංඝයාට මහ දන් දුන්නේය.190 වංසත්ථප්පකාසිනීය මෙම අවස්ථාව තවත් අර්ථ දක්වා ඇත. ඒ අනුව අම්බට්ඨකෝල මලය රට සොණ්ණගිරි නම් පව්ව අසල උක් කෙතක උක් සකුරු සාදන යන්ත්‍රාගාරයක රජු තුන් අවුරුද්දක් බැලමෙහෙවර කම් කොට එයින් ලැබුණු උක් සකුරුින් භික්ෂූන්ට හා භික්ෂුණීන්ට වස්ත්‍ර දන්දී ඇත.191 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට උක් සකුරු සෑදීමේදී යන්ත්‍ර සූත්‍ර පවා භාවිතයට ගත් බව ය . වසභ රජු ධර්ම කථික භික්ෂූන්ට උක් සකුරු ප්‍රදානය කර ඇති බව මහාවංසයේ සඳහන් ය .192 මෙයින් පෙනී යන්නේ වසභ රජුගේ කාලය වන විට ද උක් සකුරු ඉතා ජනප්‍රිය කෑමක් බවට පත් වී ඇති බව ය . ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) මිහිඳුමහ තෙරුන්ට උපහාර දැක්වූ අවස්ථාවේදී එහි සිටි භික්ෂූන්ට උක්සකුරු පූජා කර ඇත.193 අසික්ගාහක රජතුමා (ක්‍රි.ව. 623-632) උක් සකුරෙන් සකස් කරන ලද කිරිබතක් සංඝයාට දන්දී ඇත.194 දෙවන මිහිඳු රජතුමා බමුණන්ට මහා අනර්ඝ වූ රාජ භෝජන දානය කර රන් තැටි උක්සකුරු සහිත කිරි පානය කිරීමට ලබාදී ඇති බව මහාවංසයේ දෙවන කොටසෙහි සඳහන් ය .195 හතර වන කාශ්‍යප රජ (ක්‍රි.ව. 889-914) දවස රජුගේ සෙනවියෙක් ඌරු රූප බඳු වූ උක් සකුරු සාදවා භික්ෂූන්ට දන්දී ඇත.196 සිව් වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) ගිලන් තවුසන් වෙත හා පාංශුකූලික භික්ෂූන් වෙත උක් සකුරු හා තවත් බොහෝ දේ පූජා කර ඇත.197

තෘණ පවුලේ කුඩාම ශාකයක් ලෙස ගත හැකි තෘණ ශාකය පිළිබඳව ද වංසකථා අධ්‍යයනයේදී තොරතුරු හමු වේ. මිහිඳුමාහිමියන් ලක්දිවට වඩින අවස්ථාවේදී රජුට තෙරුන් දක්වනු පිණිස මිස්සකක පව්වෙහි වසන දෙවියා ගෝණ වෙස් ඇතිව තණ පඳුරක් කමින් සිට යන ආකාරය දැක් වූ බව මහාවංසයේ සඳහන් ය .198 මේ බව පූජාවලියේ ද සඳහන් විය.199 එහෙත් සිංහල ථූපවංසයේ සඳහන් වන්නේ තණ කන මුවෙකු විදීමට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) සූදානම් වූ බව ය .200 සිංහල බෝධි වංසය මෙම අවස්ථාව දැක්වීමේදී දේවානම්පියතිස්ස රජතුමා තණපත් අනුභව කරමින් සිටින මුවෙකු දුටු බව දක්වා ඇත.201 මහානාග රජතුමා බුදුන්ගේ ලලාට ධාතුන් වහන්සේ මාගමට වැඩමවීමේදී නගරයේ මහා වීදි දහ අටක තණ කොළ ඉවත් කර කළු වැලි ඉවත් කර සුදු වැලි අතුරන ලෙස ජනයාට දන්වා යවා ඇති බව සිංහල ධාතුවංසයේ සඳහන් ය .202

  • 190 ම.ව, (2008). 34, 4-6
  • 191 වංස, පි. 501-502
  • 192 ම.ව, (2008). 35 92
  • 193 ම.ව, (1996). 38, 58-59
  • 194 ම.ව, (1996). 42, 66
  • 195 ම.ව, (1996). 46, 144-145
  • 196 ම.ව, (1996). 52, 30
  • 197 ම.ව, (1996). 54, 22-26
  • 198 ම.ව, (2008). 14, 3-4
  • 199 පූජා, 33, 491
  • 200 සි. ථූ. ව, පි. 98
  • 201 සි. බෝ. ව, පි. 159
  • 202 සි. ධා. ව, පි. 441
දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදි කරන අවස්ථාවේදී කැඳවූ වඩුවන් අතරෙන් එක් අයෙක් තෘණ හට නොගන්නා ආකාරයෙන් චෛත්‍ය ඉදිකරන ආකාරය පවසා ඇත.203 මෙම අවස්ථාවේදී තණ හට නොගන්නා ආකාරයට චෛත්‍ය ගඩො තැනීම පිළිබඳව වඩුවා පැවසූ දේ මහාවංස කතුවරයාට සමාන අයුරින් ථූපවංස කතුවරයා ද දක්වා ඇත.204 එමෙන් ම දුටුගැමුණු රජු ඉදිකරන රුවන්වැලිසෑය උදෙසා රිදී සොයාගෙන පැමිණි පුද්ගලයා රිදී යම් ප්‍රමාණයක් රැගෙන කරත්තය තිබූ තැනට ගොස් තණ කොළ හා ජලය ඇති තැනක නවතා පසුව ඉක්මනින් අනුරාධපුරයට ගොස් රජුට රිදී පෙන්වා ස්ථානය දක්වා ඇත.205

වංසකථා අනුව නන්දන රජ උයනෙහි ද තණ කොළ තිබී ඇත. ‘නිල් කුස තණින් යුක්ත වූ සිසිල් මනරම් නන්දන උයනෙහි’ 206 ලෙස මහාවංසයෙහි දැක්වීමෙන් මෙම උද්‍යානයෙහි කුස තණ වවා තිබූ බවට අනුමාන කළ හැක. එහෙත් වංසත්ථප්පකාසිනීය එම තණකොළ කුස තණ ද යන්න පැහැදිලිව දක්වා නොතිබීමෙන් නන්දන උයනෙහි තිබූ තණ කොළ කුස තණ ද යන්න නිශ්චිතව පැවසීමට නොහැක.

ඊතණ පිළිබඳව සිංහල ථූපවංසය තුළින් තොතුරු හමු වේ. මිහිඳු හිමි ලක්දිවට පැමිණ ඇත් හලෙහි ධර්මය දේශනා කිරීමට ප්‍රථමයෙන් රජු එම ස්ථානය පිරිසිදු කරවා අලංකාර කර ඇත. එලෙස අලංකාර කිරීමේදී සුදුවැලි බිම අතුරා ඒ මත ලදපසමල් ඉස ඇත.207 ලදපස මල් ලෙස හඳුන්වන්නේ ද්‍රව්‍ය කිහිපයක එකතුවට ය . මේ ද්‍රව්‍ය අතර ඊතණ ද වන බව සිංහල ථූපවංස අර්ථ විවරණයේ සඳහන් වේ.208 මෙලෙස දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විසින් ලද පස මල් ඉසින ලද තවත් අවස්ථාවකි රුවන්මැලිසෑ ධාතු නිධානෝත්සවය. රුවන්වැලිසෑයෙහි ධාතු නිධානය කරන දිනයෙහි නගරයේ වීදි සුදුවැලි අතුරා ඒ මත ඊතණ ඇතුළු තවත් ද්‍රව්‍ය කිහිපයක් ඉස ඇති බව සිංහල ථූපවංසයේ වේ.209 දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදි කිරීමට මංගල ගඩොල තැබීමට ප්‍රථමයෙන් විසාඛය, සිරිදෙවය යන ඇමතියන් දෙදෙනාට ස්ථූපය ඉදිවන ස්ථානය සැරසීමට නියෝග කළේ ය . ඔවුන් මෙම ස්ථානයේ වැලි අතුරා වැලි මත හීතණ ඇතුළු තවත් ද්‍රව්‍යන් කිහිපයක් අතුරුවා ඇත.210 ඒ කෙසේ වෙතත් කුස තණ යනුවෙන් හඳුන්වන්නේ ‘ඊතණ’ ලෙස හඳුනාගන්නා තණ කොළ වර්ගය බව සිංහල ථූපවංසය පෙන්වා දේ.211

  • 203 ම.ව, (2008). 30, 9-10
  • 204 සි. ථූ. ව, පි. 157
  • 205 සි. ථූ. ව, පි. 149, ආ. ඖ. ස, (1980), I පිය, II කො, පි. 52
  • 206 ම.ව, (2008). 15, 2
  • 207 සි. ථූ. ව, පි. 101
  • 208 සි. ථූ. ව, පි. 236
  • 209 සි. ථූ. ව, පි. 178
  • 210 සි. ථූ. ව, පි. 151
  • 211 සි. ථූ. ව, පි. 208