හතරවන පරිච්ඡේදය

අනුරාධපුර යුගයේදී කෘෂිකර්මය සමඟ සම්බන්ධ වූ ශාක වර්ග

ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍රයක් වන වංසකථා අධ්‍යයේදී අතීතයේ ලංකාවේ දියුණු කෘෂිකාර්මික පදනමක් තිබූ බව පෙනී යයි. එමෙන් ම නිශ්චිත සැලැස්මක් අනුව අතීත රජ වරු කෘෂිකර්මාන්තය පවත්වාගෙන ගිය බව ද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයවලින් සාක්ෂාත් කරගත හැක. කෘෂිකර්මය වාරි තාක්ෂණය හා එක්වී අනුරාධපුර යුගයේදී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යම් දායකත්වයක් ලබා දුන් බව ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයනයේදී පෙනේ. මෙම ක්‍රියාවලියේදී ආර්ථිකමය වටිනාකමක් ඇති කෘෂිකර්මය සමඟ බැඳුණු ශාක ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වූ ආකාරය ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයනයෙන් අවබෝධ කරගත හැක.

අනුරාධපුර යුගයේදී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියෙහි සාර්ථකත්වය කෙබඳු මට්ටමක පැවතියේ ද යන්න ක්‍රි. ව. 4 වන සියසට අයත් තෝනිගල ශිලා ලිපියෙන් හෙළි වේ.

‘නකරහි උතරපසහි කළහුමනක නියමතනහි .... කඩුබලගමකෙහි වසනක අමෙති පහෙජ සිවයහ පුත දෙවයහ යහිසපවය නව වෙහෙරකෙහි දින අරියවස වටවි දෙහකඩ දස අමණක වි ඉඩ ස අමණක උදි ඉච බයලි දස අමණ ඉච මෙ දෙහකඩ දස අමණක වි පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ මදෙහසෙහි වෙඪ පචවිසිය අමණක වි ඉච මෙ ස අමණක උදිහි වෙඪ එක අමණ දෙ පෙකඩක උදි ඉච දස අමණක බයලිහි වෙඪ දෙ අමණ දෙ පෙකඩක උදි ඉච දස අමණක බයලිහි වෙඪ දෙ අමණ දෙ පෙකඩක බයලි ඉච මෙ වටක වණහි ගහෙ කිණිය විටවය වෙඪ ගෙණ’

මෙයට අනුව කළහු-මනක වෙළඳ ශ්‍රේණියෙහි වී, උඳු, හා මුං යන ධාන්‍ය තැන්පත් කර ඒවායේ නිශ්චිතව දක්වා ඇති පොළියෙන් ‘යහිසපවය’ විහාරයේ ‘අරියවංස’ පූජාවට නියම කර තිබූ ද්‍රව්‍ය සැපයිය යුතු විය.1

තෝනිගල සෙල්ලිපියෙන් පෙනී යන්නේ අනුරාධපුර යුගය වන විට අස්වැන්නෙන් ලැබෙන අතිරික්තය බැංකුවක ගබඩා කිරීමටත් එම අතිරික්තය ක්‍රමානුකූලව භාවිතයට ගැනීමටත් එකල පාලකයන් සැළසුම් කර තිබූ ආකාරයයි. එමෙන් ම මෙම අවස්ථාවේදී වී, උඳු හා මුං වැනි ශාකමය නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමෙහි ලා උපකාරී වූ බවත් පෙනී යයි. එමෙන් ම වංසකථා අධ්‍යයනයේදී තවත් ශාකමය නිශ්පාදන රාශියක් අනුරාධපුර යුගයේ කෘෂිකාර්මික කටයුතු උදෙසා යොදා ගත් බව පෙනී යයි.

  • 1Epigraphia Zeylanica, Vol III, P 177-178
මෙම ශාකමය නිශ්පාදන වගා කිරීමේදී විශාල ප්‍රදේශයක වගා කර තිබූ බව වංසකථා තුළින් හෙළි වේ. ඒ අනුව පණ්ඩුකාභය කුමරුන්ගේ මාමා කෙනෙකු වූ ගිරිකණ්ඩශිව ගිරිකණ්ඩ නම් ප්‍රදේශයේ පාලනය ගෙන ගිය අතර ඔහු එහි සියක් කිරියක පැසුණු ගොයම් කප්පවන ලද බව මහාවංසය සඳහන් කරයි. පණ්ඩුකාභය කුමරුන්හට ස්වර්ණපාලී කුමරිය හමුවූයේ ද ඇය තම පියාවන ගිරිකණ්ඩශිව හා ගොයම් කපන්නන්ට බත් ගෙන යන අවස්ථාවේදී බව ද එහි සඳහන් ය .2 එමෙන් ම දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකිරීමේදී සෑයෙහි හැඩය පෙන්වූ වඩුවාට විවිධ තෑගි ලබාදී ඇත. එම තෑගි අතර වටිනා කුඹුරක් ද වූ බව මහාවංසය සඳහන් කරයි.3 පසු කාලයේ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) මහ ගඟ බන්දවා කුඹුරුදිය තර කර ඇති අතර කෙත් දෙසීයයක් කුමාරසේන හට පවරා ඇත.4

මෙලෙස වංසකථාවල සඳහන් වූ ආකාරයේ විශාල වගා බිම් සැබැවින් ම එකල පැවති බව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මඟින් ද තහවුරු වේ. කිරි එකසිය හතළිස් හතරක් හා එක් පයක් විශාල වූ ද ඉසුරුමුණි විහාරයට අයත්වූ ද තිසා වැවෙන් ජලය ලබාගෙන වී වගා කළා වූ ද කුඹුරක් පිළිබඳව සිව්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956-972) වෙස්සගිරි පුවරු ලිපියෙහි සඳහන් වේ.5 මෙලෙස විශාල බිම් ප්‍රමාණයක වගා කරන ලද කෘෂිකාර්මික නිශ්පාදන මිනිසාගේ ප්‍රයෝජනයට පමණක් නොව සත්වයින් උසො ද ලබා දුන් බව ඇතැම් වංසකථා ප්‍රකාශ කරයි. ඒ අනුව දප්පුල රජු (ක්‍රි.ව. 797-801) ගවයන්ගේ ආහාරය සඳහා ගොයම් ලබා දුන් බව මහාවංසය දක්වයි.6 තව ද දෙවන මිහිඳු රජු (ක්‍රි.ව. 777-797) ගවයන්ට කෙත් දහසක කිරි වැදුනා වූ ගොයම් ආහාරය සඳහා ලබාදී ඇත.7 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී මිනිසාගේ ප්‍රයෝජනයට ප්‍රමානවත් තරම් ශාකමය නිශ්පාදන විශාල වගා බිම්වල වගා කර තිබූ බවත් ඇතැම් අවස්ථාවලදී එම නිශ්පාදන සත්වයින්ගේ ආහාර සඳහා ද යොදා ගත් බවත් ය .

වර්තමානයේ ලංකාවේ ජනයාගේ ප්‍රධාන ආහාරය බත් ය . අතීතයේදී ද එය එසේ ම වූ බව විශ්වාස කිරීමට සාධක වේ. ඉහතදී ස්වර්ණපාලි කුමරිය ගොයම් කපන්නන්ට හා තම පියානන්ට බත් ගෙන යන ලද බව සඳහන් විය. එමෙන් ම කාවන්තිස්ස රජු ගැමුණු කුමරු හා තිස්ස කුමරුට භික්ෂූන් වළඳවා උන්වහන්සේලාගේ ඉඳුල් බත් තැටියක් ගෙන්වා කොටස් තුනකට වෙන් කර භික්ෂූන් සමඟ කල නොකිරෙන ලෙස ද දෙසොයුරන් රණ්ඩු නොවන ලෙස ද දෙමළුන් හා සටනට නොයන ලෙස ද ගිවිස්වාගෙන එම බත් කට කවා ඇත.8 මෙහිදී ඉඳුල් බත් ලෙස දක්වා ඇත්තේ භික්ෂූන් වහන්සේ වළඳවා ඉතිරි වූ බත් ය . එමෙන් ම දුටුගැමුණු රජු (ක්‍රි.ව. 161-137) චූලාංගනී යුද්ධයෙන් පැරදී පලායන විට තමා පිළිබඳව නොසිතා කාලඝෝෂා කරවා අහසින් වැඩියා වූ රහතුන් වහන්සේ නමකට රන් තැටියෙහි බත් ලබා දුන් බව මහාවංසය දක්වයි.9 සිව්වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) වඳුරන්ට, ඌරන්ට, මුවන්ට හා බල්ලන්ට කැමති සේ ආහාරයට ගැනීමට බත් ලබාදී ඇත. එමෙන් ම සොරුන්ට ද දිනපතා බත් ලබාදී ඇත.10

  • 2 ම.ව, (2008), 10: 32
  • 3 සි. ථූ. ව, පි. 158
  • 4 ම.ව, (1996), 38: 41, 53
  • 5 Ez, Vol I, P 32
  • 6 ම.ව, (1996), 49: 36
  • 7 ම.ව, (1996), 46: 147-148
  • 8 ම.ව, (2008), 22: 79
  • 9 ම.ව, (2008), 32: 32
  • 10 ම.ව, (1996), 54: 32-35

විවිධ ආකාරයෙන් පිළියෙල කරන ලද බත් වර්ග කිහිපයක් ද වංසකථා අතරින් හමු වේ. මේවා විවිධ නම්වලින් හඳුන්වා ඇත. ගිලන්බත්, සලාකබත්, කිරිබත්, මේවා අතර වේ. මහාවංසය දක්වන එක් අවස්ථාවකදී ගිලන් බත් යනුවෙන් සඳහන් වී ය . එය මෙසේ ය . දුටුගැමුණු රජු මරණාසන්න අවස්ථාවේදී ලියන්නා විසින් රජු කළ පින්කම් කියවී ය . එයට අනුව රජු වෙදුන් විසින් රෝගීන්ට ලබාදීමට නියම කළ ගිලන් බත් හා බෙහෙත් ලෙඩුන්ට ලබාදී ඇත.11 මෙහිදී ගිලන් බත් ලෙස හඳුන්වා දෙන්නට ඇත්තේ ගිලනුන්ට ලබා දෙන ලද බත් විය හැකි ය . තව ද භාතිකාභය රජතුමා (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) සෑගිරි වෙහෙරෙහි භික්ෂූන් දහසකට සෑම කාලයේදී ම සලාකබත් දන් දුන් බව මහාවංසය දකවයි.12 මෙහිදී සලාක ක්‍රමයට බත් ලබා දුන් නිසා එය සලාක බත් ලෙස නම් කළ බව සිතිය හැක. තව ද වසභ රජතුමා (ක්‍රි.ව. 65-109) තැන් තිස් දෙකකදී කිරිබත් දුන් බව එහි සඳහන් ය .13

මේ ආකාරයෙන් බත් දන්දීමේදී ඒ වෙනුවෙන් රජ වරු ගෙඩනැගිලි පවා ඉදි කර ඇත. දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) හත්ථාළ්හක පිරිවෙන කරවා එහි භික්ෂූන්ට බත් බත් ලබා ගැනීමට අවශ්‍ය සියළුම උපකරණ ඇති මහා පාළි නම් බත්හල ද කරවා ඇත.14 මහාවංසය දක්වන ආකාරයට විවිධ රජ වරුන් මෙම බත්හලේදී භික්ෂූන්ට බත් ලබාදී ඇත.

මෙයින් පෙනී යන්නේ අද මෙන් ම එකල ද ජනයාගේ ප්‍රධාන ආහාරය වූයේ බත් බව ය . මේ අනුව අනුරාධපුර යුගයේදී කෘෂිකාර්මික කටයුතුවලට විශාල ප්‍රමාණයන්ගෙන් යොදා ගත් කුඹුරුවල ජනයාගේ ප්‍රධාන ආහාරය වූ බත් ලබා ගැන්ම සඳහා ගොයම් වගා කරන්නට ඇත. ගොයම්වලින් ලබාගන්නා වී පිළිබඳව වංසකථාවල සඳහන් ය . එළාර රජ දවස මහලු කාන්තාවක් වී වේලීමට අව්වේ දමා ඇති අතර එම වේලාවේදී අකාලයේ වැටුනු වැස්සෙන් ඇගේ වී තෙමී ගොස් ඇත. එම මැහැල්ල පසුව රජුට කළ පැමිණිල්ලකට අනුව රජු පෙහෙවස් සමාදන්ව සත්‍යක්‍රියා කළ නිසා පසුකාලයේ නිසි කල වැසි වැටී ඇත.15 එමෙන් ම සිව් වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) වෙහෙර සතරෙහි දුගී පිරිස් හට කැමති ආකාරයෙන් ලබා ගැනීමට වී පුරවා තැබූ බව මහාවංසය සඳහන් කරයි.16

වීවල පොත්ත ඉවත් කිරීමෙන් සහල් ලබා ගනී. පැරණි ලංකාවේ සහල් වර්ග බොහෝමයක් භාවිතයට ගෙන තිබුණ ද අද වන විට එම වර්ග බොහෝමයක් භාවිතයෙන් ඉවත් වී තිබේ. වංසකථා පුරාවට ම ගොයම්, වී ආදී නම් හා ඒ ආශ්‍රිත නිශ්පාදන සඳහන් වුව ද ඒවායෙහි සඳහන් වන්නේ සහල් වර්ග කිහිපයක් පිළිබඳව පමණකි.

  • 11 ම.ව, (2008), 32: 39
  • 12 ම.ව, (2008), 34: 64
  • 13 ම.ව, (2008), 35: 78
  • 14 ම.ව, (2008), 20: 22
  • 15 ම.ව, (2008), 21: 27
  • 16 ම.ව, (1996), 54: 35
මහාවංසයේ සඳහන් වන පළමු සහල් වර්ගය වන්නේ තණ සහල් ය . දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) මරණාසන්නව සිටින විට එතුමාගේ පින් පොත ලියන්නා විසින් එතුමාට ඇසෙන සේ එතුමාගේ පින්පොත කියවී ය . එම පින්කම් අතර රජු විසින් කොළඹ නම් මලය රට බුළුකෑ සායෙහිදී එතුමාගේ වටිනා මිණිකොඩොල් සඟළ විකිණීමෙන් ලැබුණු මුදලින් පන්සියයක් රහත් තෙරුන්ට පහන් සිතින් උතුම් වූ ඇඹුල් සහිත තණ සාලේ පිණ්ඩපාතය පූජා කරන ලද බව සඳහන් වී ඇත.17 මෙම අවස්ථාවේදී මහාවංසය තණ සහල් හඳුන්වාදී ඇත්තේ ‘කංගු’ ලෙස ය .18 ඉහත අවස්ථාවේදී මෙන් ම කොළොම්හල කුඩුකන සාගතයේදී ද දුටුගැමුණු රජු තමාගේ කනෙහි වූ වටිනා කුණ්ඩලාභරණ දෙක විකුණා තණසාලේ ඇඹුල් සහිත බත් මුලක් ගෙන රහතුන් වහන්සේ පස් දෙනෙකුට ප්‍රසන්න වූ සිතින් පිරිනමා ඇත.19 මෙයින් පෙනී යන්නේ තණ සහල් දුටුගැමුණු රජුගේ කාලයේදී බහුලව භාවිතා වු බව ය . එහෙත් තණ සහල් පිළිබඳව මෙම යුගයෙන් මතුවට වංසකථා සාකච්ඡා කරන්නේ නැත. අනුරාධපුර යුගය අග භාගය වන විට තණ සහල් මිනිස් පරිභෝජනයෙන් දුරුස්ව ගොස් ඇති බව මෙහිදී අනුමාන කළ හැකි ය . වංසකථාවලට අමතරව සුමංලගල විලාසිනිය හා සිඛවළඳ විනිස යන ග්‍රන්ථ අනුව අනුරාධපුර යුගයේදී තණ සහල් කෘෂිකාර්මික කටයුතුවලට යොදාගත් බව රණවැල්ල මහතා ප්‍රකාශ කරයි.20

Setaria Italica Beauv. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා තණ සහල් GRAMINEAE කුලයට අයත් ය . එමෙන් ම මෙම සහල් වර්ගය හින්දි භාෂාවේදී ‘කාගුන’ ලෙසත් බෙංගාලි භාෂාවේදී ‘කංගු’ ලෙසත් ද්‍රවිඩ භාෂාවේදී ‘නේල්ලායි’ ලෙසත් ඉංග්‍රීසි භාෂාවේදී 'The Indian Millet' ලෙසත් සංස්කෘතයේදී ‘කංගු’ ලෙසත් හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය ප්‍රකාශ කරයි.21 බුද්ධදාස රජතුමා විසින් අනුරාධපුර යුගයේදී රචනා කරන ලද සාරාර්ථ සංග්‍රහයේදී තණ සහල් වර්ග කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කර ඇත. මේ තණ හාල් වර්ග නම් ‘ලොකු ඇට තණහාල් හා හීන් ඇට තණහාල්’ වේ. එහිදී මෙම සහල් වර්ග දෙකට අමතරව ‘ඌරු තණ ඇට’ හෙවත් ‘ඌරු වී’ නම් සහල් වර්ගයක් පිළිබඳව ද සාකච්ඡා කරයි. මෙම වර්ගයේ ස්වභාවය දක්වන ආකාරයට තණ සහල්වලට සමාන ලක්ෂණ මෙහි වේ. එහෙත් ඒ අනුව ඌරු තණ ඇට තණ සහල් වර්යට අයත් දැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. මෙහිදී සකු බසින් ලොකු ඇට තණ හාල් ‘තෘණධාන්‍යං’ ලෙසත් ඇට හීන් තණහාල් ‘කංගු’ ලෙසත් ඌරු තණ ඇට නම් සහල් වර්ගය ‘ගවේධුකා’ ලෙත් හඳුන්වා දේ. මේ අනුව හීන් තණ හාල් පමණක් තණ හාල් ගණයට අයත් වේද යන්න ගැටළුක් මතු වේ. මේ කෙසේ වෙතත් මෙම වර්ග තුනම අනුරාධපුර යුගයේදී ඖෂධ කටයුතු සඳහා පරිහරණය කළ බව සාරාර්ථ සංග්‍රහයේ එන විස්තර අනුව අනුමාන කළ හැක.22

  • 17 ම.ව, (2008), 32: 31
  • 18 ම.ව, (2006), 32: 30
  • 19 සි. ථූ. ව, පි. 193
  • 20 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, (2009) ශ්‍රී ලංකාවේ ඉතිහාසය I කො, පි. 162
  • 21 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, II කො, (1980), පි. 84
  • 22 සාරා, 3 අ, පි. 100-105
වංසකථා අතරින් හමු වන අනෙක් සහල් වර්ගය වන්නේ සුවඳහැල් සහල් ය . කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධර මහාභික්ෂු සංඝයාහට සුවඳහැල් සාලෙන් සැකසූ කැඳ පිළිගන්වා ඇති අතර සුවඳහැල් සාලේ බත් සමඟ රසවත් මස් ආදිය හා කැවිලි වර්ග ද පිළිගන් ඇති බව ධාතුවංසය සඳහනන් කරයි.23 දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161-137) පුත්‍රයා වූ සාලිය කුමරු උපන් වේලාවේදී බත් සැලි ඇල් බත්වලින් පිරී ගිය අතර ධාන්‍යාගාර ද ඇල් වීවලින් පිරී ගොස් ඇත. මේ නිසා දුටුගැමුණු රජු කුමරුන් හට සාලිය නමින් නම් තබන ලද බව සහස්සවත්ථු අට්ඨකථාවේ සඳහන් වන බව වංසත්ථප්පකාසිනීය පවසයි. මෙම විස්තරයට අනුව කුමරුගේ සත් මඟුල්හිදී ම මෙසේ ඇල් වී ලැබී ඇත.24 සාලි යනු ඇල් සහල් ය . මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ලංකාවේ ඇල් වී බොහෝ සෙයින් වගා කළ බව ය . කාවන්තිස්ස රජුගේ පුතා වූ මහා තිස්ස රජු ශාසනයට සිත් ඇති සුම්ම නම් තෙරුන්ට මනරම් හැල් කෙතක් පූජා කර ඇත.25 එමෙන් ම මහාසිළුමහතිස් රජු (ක්‍රි.ව. 76-62) රජ වූ පළමු වසරෙහි ම ‘සියතින් කළ දෙන දන මහත් ඵලය’ යි අසා රජ වූ පළමුව දවස්හි අප්‍රසිද්ධ වේශයෙන් පසල් දනව් කරා ගොස් ඇල්ගොයම් කපා එයින් ලැබූ කුලියෙන් මහාසුම්මතෙරුන්ට පිණ්ඩපාතය දුන්නේ ය .26 මහාවංසය මෙම අවස්ථාවේදී ඇල් ගොයම් දක්වා ඇත්තේ සාලි ලෙස ය .27 ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 459-477) ද මහාපාළි බත්හලේ භික්ෂූන්ට ඇල්බත් දන්දී ඇත.28

ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දෙන ආකාරයට ඇල් යන නාමයෙන් ආයුර්වේදයේදී හඳුනා ගනු ලබන්නේ රත්ඇල් හා සුවඳැල් ආදී සහල් වර්ගයි. ඉහතදී සුවඳැල් නම් හාල් වර්ගය පිළිබඳව සඳහන් විය. එමෙන් ම රත්ඇල් සහල් ද මෙරට භාවිතා වූ බව රසවාහිනීය පෙන්වා දේ.29 එමෙන් ම සාරාර්ථ සංග්‍රහයේදී හැල් වී වර්ග කිහිපයක් පිළිබඳව සඳහන් කරයි. ඒවා රත්හැල්, මහහැල්, ලොමැඩ හැල්, කදොරු හැල්, කලමඩු හැල්, දික්බූ හැල්, කළු හැල්, මීපත් හැල්, ගිරාපත් හැල්, කොමඬුහැල්, පියුම්හැල්, දොඹැටහැල්, සුවඳහැල්, කොතුඹුරු හැල්, පන්වාහැල්, මොනරහැල්, දික් හැල් හා හූරු හැල් නමි. මෙම හැල් වර්ග සියල්ලම අනුරාධපුර යුගයේ බුද්ධදාස රජතුමාගේ (ක්‍රි.ව. 340-368) කාලයේදී ආයුර්වේද ඖෂධ ප්‍රතිකර්ම සඳහා යෙදාගත්තේ ද යන්න හා එකල මේ හැල් වර්ග සියල්ලම පැවතියේ ද යන්න අනුමාන කළ නොහැක.30

Oryza sativa, Linn. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා ඇල් ශාකය GRAMINEAE යන කුලයට අයත් ය . හින්දි භාෂාවේදී ‘චාවල්, ධාන්, ශාලිධාන්’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘ශාලිධන්‍ය, චාවල්ධාන්’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘අරිසි’ ලෙස ද සංස්කෘතයේදී ‘ශාලී, වී්‍රහී’ ලෙස ද ඇල් ශාකය හඳුනා ගනී. ඇල් වී ඉන්දියාව, ලංකාව ආදී පෙරදිග රටවල හා ඝර්මකලාපීය හා සමශීතෝෂ්ණ කලාප සහිත වූ ලෝකයේ නොයෙක් දේශයන්හි වැවේ.31 මෙය අනුරාධපුර යුගයේදී වගා කරන විට ගොඩ ඉඩම්වල ද වගා කරන ලද බව සිරිමල් රණවැල්ල මහතා ප්‍රකාශ කරයි.32

  • 23 සි. ධා. ව, පි. 485-487
  • 24 වංස. පි. 486
  • 25 දීප, 19: 22
  • 26 ම.ව, (2008), 34: 3
  • 27 ම.ව, (2006), 34: 3
  • 28 ම.ව, (1996), 38: 41-42
  • 29 රසවා, පි. 174
  • 30 සාරා, 3 අ, පි. 85-86
  • 31 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, II කො, (1980), පි. 23
  • 32 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, එම, පි. 161
මා වී නම් වී වර්ගය අනුරාධපුර යුගයේ සාමාන්‍ය ජනයා ආහාරයට ගත් බව රාජාවලියෙන් හෙළි වේ. එයට අනුව එක්තරා දුප්පත් ස්ත්‍රියක් තම ස්වාමියාට මා වී බත් හා හාල්මැස්සන් මැලවූ බත් මුලක් ලබාදී අත්තනගල්ලේ සිටිනා සිරිසඝබෝ රජුගේ (ක්‍රි.ව. 251-253) හිස රැගෙන එන ලෙස පවසා ඇත.33

මෙම සහල් වර්ගවලට අමතරව තවත් වී වර්ග කිහිපයක් අනුරාධපුර යුගයේ ජනයා පරිහරණය කර ඇත. ඒ අනුව එප්පාවල පුවරු ලිපියක ‘සසරපැඬි’ යන නමින් හැඳින් වූ වී වර්ගයක් සඳහන් වන බව පරණවිතන මහාතා පෙන්වා දෙන බව අමිල ඉන්දික මහතා පෙන්වා දේ.34 තව ද ‘සිහිනැටි’ නම් වී වර්ගය ද පැවති බව සිව්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956-972) වෙස්සගිරි පුවරු ලිපියෙහි ‘සිහිනැටි වපුර(නු) මිසැ මුග් ඇටි නොවපු රනු ඉසා’ ලෙස සඳහන් වීමෙන් පෙනී යයි.35 එමෙන් ම නිවුඩු සහල් නම් සහල් වර්ගයක් භාවිතා කළ බව රසවාහිනීය පෙන්වා දේ.36 එමෙන් ම සාරාර්ථ සංග්‍රහයේ ද කළු වී, පළොල් වී, කුකුළුබිජු වී, නංඩු වී හා ලතුමුච වී ආදී වර්ග පිළිබඳව සඳහන් වේ. මෙම ග්‍රන්ථය අනුරාධපුර යුගයට සමකාලීන ග්‍රන්ථයක් නිසා මෙම වී වර්ග එම යුගයේ පැවති බව ද අනුමාන කළ හැකි ය .37

එමෙන් ම නම සඳහන් නොකරණ ලද සහල් පරිත්‍යාගයන් ද වංසකථාවල සඳහන් ය . වලගම්බා රජු (ක්‍රි.ව. 87-76) පංචම ද්‍රවිඩ ආක්‍රමණය අවථාවේදී පලායන විට ඇමතියන් රජු සමඟ අමනාප වී යන අතරමඟදී ඔවුන්ව සොරුන් කණ්ඩායමක් විසින් කොල්ල කන ලදී. එම අවස්ථාවේදී ඇමතියන්ට හමු වූ තිස්ස තෙරුන් ඔවුනට විවිධ ද්‍රව්‍ය හැකි ආකාරයෙන් ලබාදී ඇත. මේ දේවල් අතර සහල් ද තිබී ඇත.38 තව ද බුද්ධදාස රජුගේ (ක්‍රි.ව.340-368) පුත් උපතිස්ස කුමරු ජනයාට සහල් ලබාදී ඇත.39 පසු කලකදී දප්පුල රජු (ක්‍රි.ව 797-801) ළදරුවන්ට මී සකුරු යුත් සහල් ලබා දුන් බව මහාවංසය දක්වයි.40

  • 33 රාජා, පි. 196
  • 34 ඉන්දික අමිල එම් කේ, (2012), අනුරාධපුර යුගයේ සමාජ ක්‍රමය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, පි. 82
  • 35 Ez, Vol i, P 32
  • 36 රසවා. පි. 181
  • 37 සාරා, 3 අ, පි. 86
  • 38 ම.ව, (2008), 33: 43-75
  • 39 ම.ව, (1996), 37: 179-185
  • 40 ම.ව, (1996), 49: 37
මෙම වී වර්ග වගා කරන ලද කාලය පිළිබඳව ද සෙල්ලිපි තුළින් තොරතුරු හෙළි වේ. අනුරාධපුර යුගයේදී පිට දඩ හස, මදෙ හස හා අකල හස යන වාර තුනෙහිදී වගා කටයුතු සිදු කළ බව සිරිමේඝවර්ණ රජුගේ (ක්‍රි.ව. 555-573) කාලයට අයත් තෝනිගල පර්වත ලිපියේ සඳහන් ය .41 එහෙත් සෑම වසරකදී ම මෙම කන්න තුනෙහිදී ම වගා කළ බව විශ්වාස කළ නොහැක. මෙම කාලවලදී වගා කරන විට ගොඩ ඉඩම් හා මඩ ඉඩම් යන ආකාර දෙක වගා කිරීමට යොදාගෙන ඇත. මඩ ඉඩම් ලෙස හඳුන්වා ඇත්තේ වී ආදිය වගා කරන ජලය පහසුවෙන් ලබා ගැනීමට හැකි භූමි ය . ගොඩ ඉඩම් ලෙස නම් කර ඇත්තේ ජලය ලබා ගැනීමට අපහසු අහස් දියෙන් වගා කරන ඉඩම් ය . ගොඩ ඉඩම්වල ඇල් වී, උඳු, උළුහාල් මුං, වන් ධාන්‍ය වර්ග ඇතුළු තවත් ශාක කිහිපයක් වගා කරන ලද බව වංසකථා අධ්‍යයනයෙන් පෙනේ.

වංසකථාවල සඳහන් අකාරයට අනුරාධපුර මුල් යුගයේ ජනයා උඳු වන් බෝග වර්ග වගා කිරීමට පුරුදුව සිටියහ. කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධාරී මහා භික්ෂු සංඝයා හට උඳු කැවුම් ආදී තවත් ආහාර වර්ග රාශියක් පිළිගන්වූ බව සිංහල ධාතු වංසයේ සඳහන් ය .42 එමෙන් ම ගිරි නම් දනව්වෙහි නිසෙල්විටි නම් ගමෙහි මහානාග නම් තැනැත්තාගේ පුතා ඇතුන් දහයකගේ බල ඇත්තෙක් වී ය . මිටි සිරුරක් ඇති බැවින් ඝෝඨක නම් වූ මොහුට සොහොයුරෝ විහිළු කරති. මොවුන් උඳු වැපිරීමට මහ වනයට ගොස් වනය කොටා ගෝඨකගේ කොටස ඉතිරි කර ගෝඨකට දැන්වූහ. මෙම අවස්ථාව මෑ හේනක් කෙටීම මුල් කරගෙන සිදු වූ බව ද වංසත්ථප්පකාසිනීය දක්වයි.43 මහාවංසයේ සඳහන් වූ ගෝඨක නැමැත්තා පසුව දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161-137) සේනාවේ ගෝඨයිම්බර යෝධයා ලෙස නම් වී ය .44 මෙයින් පෙනෙන්නේ මේ යුගයේ ආහාර බෝග වගාවක් ලෙස උඳු ශාකය යොදාගෙන ඇති බවය. මහසෙන් රජු (ක්‍රි.ව. 276-303) විසින් රුවන්වැලි සෑ මිදුලෙහි උඳු වපුරවා ඇති බව මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් කුමරු හට මහා විහාර වාසී භික්ෂූන් ප්‍රකාශ කර ඇත.45 අනුරාධපුර යුගයේදී උඳු වගා කිරීම විශාල වශයෙන් සිදු වූ බව තොරතුරුවලින් හෙළි වේ.

එමෙන් ම අනුරාධපුර යුගයේදී උඳු ශාකය වගා කරන ලද බව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයවලින් ද තහවුරු වේ. තෝනිගල සෙල්ලිපියට හා එප්පාවල සෙල්ලිපියට අනුව උඳු ශාකය අනුරාධපුර යුගයේදී වගා කර ඇත.46 තෝනිගල සෙල් ලිපියට අනුව මෙම ශාකයේ ඵල අතිරික්තය ධාන්‍ය බැංකුවක තැන්පත් කර ඇති අතර මෙයින් පෙනී යන්නේ මේ යුගය වන විට උඳු ශාකය බොහෝ සෙයින් වගා කළ බව ය . එමෙන් ම මෙම ශාකය පිළිබඳව හා එහි ගුණ පිළිබඳව අනුරාධපුර යුගයේ රචිත සාරාර්ථ සංග්‍රහයේ ද සඳහන්වේ.47 මෙයින් පෙනීයන්නේ අනුරාධපුර යුගයේ ජනයා උඳු ශාකය පරිභෝජනයට ගැනීමට දැන සිටි බවත් එහිදී කිනම් ගුණ ලැබේදැයි ඔවුන් දැන සිටි බවත් ය .

  • 41 Ez, Vol iii, P 177-178
  • 42 සි. ධා. ව, පි. 486
  • 43 වංස. පි. 356
  • 44 ම.ව, (2008), 23: 49-51
  • 45 ම.ව, (1996), 37: 53-61
  • 46 Ez, Vol iii, P 177-178, Ez, Vol iii, P 193-194
  • 47 සාරා, 3 අ, පි. 92
Phaseolus Mungo Linn. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා මෙම උඳු ශාකය LEGUMINOSAE යන කුලයට අයත් ය . මෙම ශාකය හින්දි භාෂාවේදී ‘උරිද්, උර්ද්’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘මාෂකලාය’ ලෙස ද ද්‍රවිඩ භාෂාවේදී ‘උලුඳු’ ලෙස ද සංස්කෘතයේදී ‘මාෂ’ ලෙස ද හඳුනා ගන්නා බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. එමෙන් ම මෙම ශාකය ඉන්දියාව් බහුල ලෙස වවනු ලැබේ.48 නරක සිහින දුටු විට දිය යුතු දානයට උඳු ඇතුලත් බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පවසයි.49 ලංකාවේදී මෙම ශාකය යල කන්නයේදී මඩ ඉඩම්වලත් මාස් කන්නයේදී ගොඩ ඉඩම්වලත් වගා කරනු ලැබේ. සිටුවා මාස තුනක් වැනි කාලයකදී මෙහි ඵල නෙලා ගනී. කරල් ලෙස හටගන්නා මෙම ශාකයේ ඵල අව්වේ දමා වියළා මාගල්වල දමා තැලීමෙන් ඇට බේරා ගනී. වියළි කලාපයේදී මෙම ශාකය කෘෂිකාර්මික භෝගයක් ලෙස සාර්ථක අස්වැන්නක් ලබා දේ.

උඳු මෙන් ම මෙකල තල ශාකය ද ජනප්‍රිය බෝගයක්ව පැවති බව වංසකථා අධ්‍යයනයෙන් හෙළි වේ. කාවන්තිස්ස රජතුමා හැටදාහක් ත්‍රිපිටකධාරී මහා භික්ෂු සංඝයා හට තල කැරලි ආදී ආහාර වර්ග බොහෝමයක් පිළිගන්වා ඇත.50 මෙයින් පෙනෙන්නේ මෙම යුගය වන විට තල ආශ්‍රිතව සෑදූ විවිධ ආහාර වර්ග ද තිබූ බව ය . දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකිරීමේදී ගල් ඇතිරීම මත අඟල් හතක් ගනකම් රිදී තහඩුව දැමීමේදී එයට පෙර දමන ලද අඟල් අටක් ගනකම් ලෝහ තහඩුවක් මත තල තෙල් දමා මිශ්‍ර කරන ලද රත්සිරියෙල් යොදාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ තල තෙල් ආහාර සඳහා පමණක් නොව ඉදිකිරීමේ තාක්ෂණය සඳහා ද අනුරාධපුර යුගයේදී යොදාගත් බව ය .51 රුවන්වැලිසෑය ඉදිකිරීමේදී ඉහත සඳහන් කළ ආකාරයට තල තෙල් යොදාගත් බව සිංහල ථූපවංසය ද ප්‍රකාශ කරයි.52 එමෙන් ම භාතිකාභය රජු (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) රුවන්වැලිසෑ මළුවෙහි පූජා පවත්වන ලද අවස්ථාවන්හිදී ද තල තෙල් යොදා දැල්වූ පහන් පූජා කර ඇත.53 මෙම අවස්ථා දෙකෙහිදී ම තල තෙල් ‘තිලතෙලෙ’ ලෙස මහාවංසය හඳුන්වාදී ඇත.ඤ ම.ව,54 මෙම රජු තල තෙල් යෙදූ පහන් රුවන්වැලිසෑයට පූජා කළ බවදීපවංසය ද සඳහන් කරයි.55 සිංහල ථූපවංසය දක්වන්නේ භාතිකාභය රජු මෙලෙස පූජා පැවැත්වීමේදී සතියක් තල තෙල් යොදාගෙන පූජා පැවැත්වූ බව ය .56 සිව් වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) පාංශුකූලික භික්ෂූන්ට ලබා දුන් බෙහෙත් පාත්‍රාවල ද තල තෙල් තිබී ඇත.57 එප්පාවල සෙල්ලිපියකට අනුව අනුරාධපුර යුගයේදී තල වගා කරන ලද බව සඳහන් වීමෙන් අනුරාධපුර යුගයේදී තල වගා කළ බව නිශ්චිත වශයෙන් ම පැවසිය හැක.58

  • 48 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, II කො, (1980), පි. 33
  • 49 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, III කො, (1985), පි. 63
  • 50 සි. ධා. ව, පි. 486
  • 51 ම.ව, (2008), 29: 11-12
  • 52 සි. ථූ. ව, පි. 150
  • 53 ම.ව, (2008), 34: 56
  • 54 ම.ව, (2006), 34: 56, 29: 12
  • 55 දීප, 21: 15
  • 56 සි. ථූ. ව, පි. 172
  • 57 ම.ව, (1996), 54: 23-26
  • 58 Ez, Vol iii, P 193-194
තල ශාකය Seasamum Indicum Linn. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන් වන අතර මෙය PEDALIACEAE කුලයට අයත් වේ. මෙයට හින්දි, බෙංගාලි, මරාඨි, ගුජරාත් භාෂාවන්හිදී ‘තිල’ නාමය ව්‍යවහාර කෙරේ. හින්දියෙන් ‘තිල්ලි’ ලෙස ද හැඳින්වේ. ද්‍රවිඩ භාෂාවේදී ‘නල්ලෙන්නෙ’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී 'Sesame' ලෙස ද සංස්කෘතයේදී ‘තිල’ ලෙස ද තල ශාකය හඳුනා ගනී. ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දෙන ආකාරට තල ප්‍රභේ ද කිහිපයකි. ඒවා නම් කෘෂ්ණ (කලු තල), ශ්වේත, රක්ත තල වේ. මෙම ශාකයේ ඇටවලින් තෙල් ලබා ගනී. මෙලෙස ලබා ගන්නා තෙල් ඉංග්‍රීසි භාෂාවේදී ‘Sesame oil’ ලෙස හඳුනා ගනී. තල ඉන්දියාවේ සියළුම ප්‍රදේශවල වගා කෙරෙන අතර චීනය හා ජපානය ආදි රටවල කෘෂිකාර්මික වශයෙන් වගා කෙරේ. එමෙන් ම ශ්‍රී ලංකාවේ වියළි කලාපයන්හි බහුලව වගා කෙරේ.59 එහිදී වසරකට අවස්ථා දෙකකදී මෙම ශාකය වගා කරයි. යල කන්නයට අනුව මාර්තු අප්‍රේල් මාසවලදී වගා කරන මෙම ශාකයේ ජූලි අගෝස්තු මාසවලදී අස්වැන්න නෙලා ගනී. මහ කන්නයට අනුව සැප්තැම්බර් ඔක්තොබර් මාසවලදී වගා කරන මෙම ශාකයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී අස්වැන්න නෙලා ගනී. වියළ කලාපයේ බෞද්ධ වැසියන් පොසොන් පොහොයට මෙම ශාකයේ හට ගන්නා මල් විහාරවලට පූජා කරති. තල ඇටවලින් තල තෙල් හිඳගන්නා අතර එය සිංල දෙමළ ජනයා විවිධ කටයුතු උදෙසා ප්‍රයෝජනයට ගනී. එමෙන් ම මෙම ශාකයෙන් ලබා ගන්නා තල විවිධ ආහාර පාන සාදා ගැනීමට යොදා ගනී.

අනුරාධපුර යුගයේදී වගා කරන ලද අබ ශාකය පිළිබඳව ද වංසකථා තුළින් තොතුරු හමු වේ. එහෙත් මෙහි ඉතිහාසය බුද්ධකාලය දක්වා දිවයයි. බුදුරජානන් වහන්සේ කිසාගෝතමියට නොමළ ගෙයකින් අබ අහුරක් ගෙන එන ලෙස පැවසූ බව කවුරුක් දන්නා කතාවකි. මෙයින් පෙනී යන්නේ එකල ඉන්දියානුවන්ගේ සෑම නිවසකම පාහේ අබ භාවිතා වූ බව ය . අබ ශාකය ආහාර රසවත් කිරීමට මෙන් ම ඖෂධයක් ලෙස ද යොදා ගන්නා ශාකයකි. එමෙන් ම එම ශාකයේ ඵලවලින් ලබා ලන්නා තෙල්වලින් විවිධ ආගමික අවස්ථා අලංකාර කළ බව අතීත තොරතුරු අධ්‍යයනයේදී පෙනී යයි. තව ද අබ තෙල් ආහාර සඳහා ද එක් කර ගනී. අබ ඉන්දියානුවන් අතර වර්තමානයේදී පවා වඩාත් ජනප්‍රිය ය .

  • 59 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, II කො, (1980), පි. 85
ලංකාවට අබ ශාකය බොහේ සෙයින් සම්බන්ධ වන්නේ වතාවත් සම්බන්ධ අවස්ථාවලදී ය . මිහිඳු හිමි ලක්දිවට පැමිණ ඇත් හලෙහි ධර්මය දේශනා කිරීමට ප්‍රථමයෙන් දේවානම්පියතිස්ස රජු එම ස්ථානය පිරිසිදු කරවා අලංකාර කර ඇත. එලෙස අලංකාර කිරීමේදී සුදුවැලි බිම අතුරා ඒ මත ‘ලදපස්මල්’ ඉස ඇත. ලද පස්මල් ලෙස හඳුන්වන්නේ ද්‍රව්‍ය කිහිපයක එකතුවට ය . මේ ද්‍රව්‍ය අතර ‘එලඅබ’ ද වනබව සිංහල ථූපවංස අර්ථ විවරණයේ සඳහන් වේ.60 ශ්‍රී මහා බෝධිය මහමෙව්නා උද්‍යානයෙහි රෝපණය කරවා මේ සමඟ පැමිණි විවිධ කුලවල ජනයාට දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) බෝධිය වෙනුවෙන් ඉටු කිරීමට විවිධ රාජකාරි පවරා ඇත. මෙහිදී බෝධියට අබ මාලා හා සුවඳ දුම් මාලා වැඩීමට වෙළඳ කුලයෙහි ප්‍රධානියාට හා ඔහුගේ පිරිසට පවරන ලද අතර වෙළඳ කුලයේ ප්‍රධානියාට මහවෙළඳනා නම් තනතුර ලබා දුන්නේ ය .61 මෙහිදී අබ ඇටවලින් සෑදූ මාලා සෑදුවේ ද නැතිනම් අබ මල්වලින් සෑදූ මාලා සෑදුවේද යන්න හඳුනාගත නොහැක. පසුකාලයේදී දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) රුවන්වැලිසෑය ඉදිකිරීමට මංගල ගඩොල තැබීමට ප්‍රථමයෙන් විසාඛය, සිරිදෙවය යන ඇමතියන් දෙදෙනාට රුවන්වැලිසෑය ඉදිවන ස්ථානය සැරසීමට නියෝග කර ඇත. එම අවස්ථාවේදී ඔවුන් මෙම ස්ථානයේ සුදු වැලි අතුරා වැලි මත ‘එළසීදතු’ ඇතුළු තවත් ද්‍රව්‍යන් කිහිපයක් අතුරුවා ඇත. මෙහි ‘එළසීදතු’ ලෙස නම් කර ඇත්තේ ‘එළ අබ’ හෙවත් ‘සුදුපාට අබ’ බව සිංහල ථූපවංසයේ අර්ථ විවරණයේදී දක්වා ඇත.62 එමෙන් ම දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) රුවන්වැල්සෑය ඉදිකරන දිනවලදී විවිධ ආහාරපාන මෙන් ම අබ ආදී දේ ද ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත.63 තව ද මෙතුමා රුවන්වැලිසෑයෙහි ධාතු නිධානය කරන දිනයෙහි නගරයේ වීදිවල සුදුවැලි අතුරා ඒ මත ‘ලදපසමල්’ ඉසින ලද බව සිංහල ථූපවංසයේ සඳහන් ය .64 මේ අනුව ධාතුනිධාන උත්සවය දිනදී ද අබ ප්‍රයෝජනයට ගත් බව මෙයින් පෙනී යයි. වංසකථා තුළින් හමු වන තොරතුරු අනුව පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී ආහාර භෝගයක් ලෙස යොදාන්නා අබ ශාකය සැරසිළි සඳහා ද යොදාගත් බව ය .

Brassica juncea (L.)Czern යන විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා මෙම අබ ශාකය CRUCIFERAE යන කුලයට අයත් ය . සිංහල භාෂාවේදී ‘අබ’ මෙන් ම ‘ඵල අබ’ ලෙස ද මෙම ශාතය හඳුනා ගනී. දෙමළ භාෂාවේදී ‘නීලම්, කඩුග’ ලෙස ද ඉංග්‍රීසි භාෂාවේදී ‘Indian mustard’ ලෙස ද හඳුනා ගනී. සංස්කෘතයේදී එය සිද්ධාර්ථ නමි.65 ඖෂධීය ශාක සංග්‍රහයේදී අබ ශාකය වර්ග හතරකින් යුක්ත බව හඳුනා ගනී. ඒවා නම්.
  1. ගෞරසිද්ධාර්ථ (එළ අබ)
  2. රක්ත සිද්ධාර්ථ (ළා කහ පාට)
  3. රාජිකා (ළා රක්ත වර්ණය)
  4. කෘෂ්ණරාජිකා (කළු වර්ණය)

  • 60 සි. ථූ. ව, පි. 101
  • 61 සි. බෝ. ව, පි. 202
  • 62 සි.ථූ.ව, පි. 151, 204
  • 63 සි.ථූ.ව, පි. 158
  • 64 සි.ථූ.ව, පි. 178
  • 65 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ඖ.ශා.ස. I වෙ, (2001), පි. 22-23
‘ගෞරසිද්ධාර්ත’ යන වර්ගය ‘එල අබ (Brassia Compestris Linn)’ ලෙස හඳුන්වන බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ. මේ පැහැදිලි කිරීම අනුව පෙනී යන්නේ ඉහත සඳහන් කරන ලද මිහිඳු හිමි ධර්මය දේශනා කිරීමට නිමිත තැන සැරසීමට ද රුවන්වැලිසෑයෙහි මංගල ගඩොල තැබීමට නියමිත ස්ථානය සැරසීමට ද රුවන්වැලිසෑ ධාතුනිධානය කිරීමට නියමිත තැන සැරසීමට ද ‘ගෞරසිද්ධාාර්ත’ යන අබ වර්ගය යොදා ගත් බව ය . ‘රාජිකා’ යන අබ වර්ගය හින්දි භාෂාවෙන් ‘රාඊ’ ලෙස හඳුන්වන අතර එය (Brassia Nigra Koch, Black or true musterd) ලෙස ද නම් කර ඇත.66 අබ ශාකය දකුණු යුරෝපය, අප්‍රිකාව, දකුණු හා නැගෙනහිර ආසියාව හා ඇමෙරිකාව ආදී රටවල හඳුන්වාදී හෝ වගා කරනු ලැබේ.67

අබ ශාකය වර්තමානයේ හා අතීතයේ විවිධ අවස්ථ සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. විශ්නු දේව පූජාව සඳහා මිනිසුන් අබ තෙල් යොදා ගනී. එමෙන් ම මාස් කන්නයේ නව දැලි හේන්වල අළු පිටවීමට කලින් අබ ඉසීමෙන් වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වේ. තව ද මුඩු වූ පොල් තෙල්වල මුඩු ගතිය ඇරීමට අබ හා වතුර දමා රන්වන් පැහැ වන තුරු බැද ගනී. එමෙන් ම ඇස් වහ කටවහ දෝෂ දුරු කිරීමට ද අබ යොදා ගන්නා අතර මෙහිදී අබ පිපිරවීමෙන් පිටවන සැර දුම උසුලාගත නොහැකිව ප්‍රේත දෝෂ ඉවත් වන බව විශ්වාස කරයි. අළුත උපන් දරුවාට ආරක්ෂාව පිණිස නිවස තුළ අබවලින් දුම් ඇල්ලීම හා අබ තෙල් මුසු ධාන්‍ය වර්ග නිවස තුළ විසුරුවා හැරීම සිදු කෙරේ. දරුවෙකු ලැබෙන විට අතීතයේදී තිඹිරිගෙය පිරිසිදු කර අබ ඇට හා කහ දියර ආදිය ඉසීම අතීතයේදී සිදු වී ය . එමෙන්ම අතීතයේදී මළ සිරුරු කල් තබා ගැනීමට අබ හා මුරුංගා පොතු බඩ වටා තබා බඳින බව ආයුර්වේද ශාක සංග්‍රහය පෙන්වා දේ. තව ද සිරිසිදු මී පැණි, අබ හා ගම්මිරිස් මිශ්‍ර කර මළ සිරුර තබන සථානයේ අතුරා ඊට අඩින් ඝන රෙද්දක් දමා සිරුර තැන්පත් සිරුර තැන්පත් කිරීමෙන් එය කල් තබා ගැනීමට හැකිව ඇත.68

  • 66 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, III කො, (1985), පි. 16
  • 67 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ඖ.ශා.ස. I වෙ, (2001), පි. 23
  • 68 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ඖ.ශා.ස. I වෙ, (2001), පි. 24-25
‘ඉඟුරු’ නම් බෝගය පිළිබඳව තොරතුරු වංසකථා තුළින් හමුවන්නේ දුටුගැමුණු රජ (ක්‍රි.පූ. 161-137) සමයේදී ය . දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරන අවස්ථාවේදී රජුට රිදී ඇති ස්ථානය පිළිබඳව දන්වා ඇත්තේ හිඟුරු ආදිය ගෙන ඒමට මලය රටට ගිය වෙළෙන්දෙකි.69 මෙම අවස්ථාව මහාවංසයේදී ‘ඉඟුරු ආදිය’ ලෙසත් පාළි මහාවංසයේදී ‘සිංගිවෙරාදිං’ ලෙසත් දක්වා ඇත.70 මෙහි ‘ඉඟුරු ආදිය’ යන්නෙන් කහ ශාකය ද අර්ථ දක්වා ඇති බව වංසත්ථප්පකාසිනීය ප්‍රකාශ කරයි.71 එම අවස්ථාව පිළබඳව සඳහන් කිරීමේදී සිංහල ථූපවංසය සෘජුව මෙම වෙළෙන්දා ඉඟුරු කහ ආදිය ගැනීමට ගිය බව දක්වා ඇත.72 එමෙන් ම සිව් වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) ද පාංශුකූලික භික්ෂූන්ට හිඟුරු හා තවත් ඒ හා සමාන ම ද්‍රව්‍යන් පූජා කර ඇත.73 දුටුගැමුණු රජු රුවන්වැලිසෑය ඉදිකරීමට මංගල ගඩොල තබන දින පූජාවට එන ජනයා උදෙසා විවිධ පහසුකම් සළසා ඇත. එහිදී ජනයා වෙනුනේ පස්පලවතින් බුලත් සූදානම් කර ඇත. මෙම පස්පලවතින් යන වර්ගයන් අතරට ‘සිඟුරු’ යන ද්‍රව්‍ය ද අයත් බව සිංහල ථූලවංසයේ අර්ථ විවරණයේ සඳහන් ය . මෙහි ‘සිඟුරු’ යනුවෙන් හඳුන්වා ඇත්තේ ඉඟුරු ය .74 එමෙන් ම දුටුගැමුණු රජතුමා රුවන්වැල්සෑය ඉදිකරන දිනවලදී විවිධ ආහාරපාන ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත. ආහාර මෙන් ම ඉඟුරු ආදී පස්පලවතින් බුලත් ද තබ්බවා ඇත.75 තව ද රුවන්වැලිසෑයෙහි ධාතුනිදන්කරන දින රජු ජනයා වෙනුවෙන් පස්පලවතින් යුත් බුලත් පුවක් කඩ සතරවාහල්කඩ තැබ්බවූයේ ය .76 මෙලෙස කඩවල තැබූ දේ අතර ඉඟුරු ද තිබූ බව මෙයින් පෙනේ. එමෙන් ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වන පොළොන්නරු රාජසභා ලිපියේ ද ඉඟුරු පිළිබඳව සඳහන් වීමෙන් මෙම යුගයේ ජනයාගේ ඉඟුරු පරිභෝජනය තහවුරු කළ හැක. එහි සඳහන්ව ඇත්තේ වියළි ඉඟුරු පරිභෝජනය පිළිබඳව ය .77 මෙයින් පෙනී යන්නේ මෙම යුගයේ ජනයා ඉඟුරු කල්තබා ගැනීමේ උපක්‍රමය පවා දැනසිටි බව ය .

Zingiber officinale Roscoe. යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඉඟුරු ශාකය ZINGIBERACEAE කුලයට අයත් ය . සිංහල භාෂාවේදී ඉඟුරු අමුවෙන් ඇති විට ‘ඉඟුරු’ ලෙසත් වියළි ආකාරයෙන් ඇති වට ‘සිද්ධිඟුරු’ ලෙසත් හඳුනා ගනී. දෙමළ භාෂාවේදී මෙවා ‘ශුක්කු’ ලෙසත් ඉංග්‍රීසි භාෂාවේදී ‘Ginger’ ලෙසත් සංස්කෘත භාෂාවේදී ‘නාගර’ ලෙසත් මෙම ශාකය නම් කරයි. ඉඟුරු ලෝකය පුරා පිහිටි නිවර්තන රටවල වගා කෙරේ. ඖෂධීය හාක සංග්‍රහයේදී ඉඟුරු හට ගත් ප්‍රදේශ අනුවවල් ඉඟුරු, අප්‍රිකානු ඉඟුරු, කල්කටා ඉඟුරු, කොච්චින් ඉඟුරු, කැලිකට් ඉඟුරු, ජැපනීස් ඉඟුරු ලෙස වර්ග කර ඇත.78 සාමාන්‍යයෙන් ඉඟුරු සිටවනු ලබන්නේ මාර්තු හා අප්‍රේල් මාසවලදී ය . දෙසැම්බර් හා ජනවාරි මාසවලදී ගස් උදුරනු ලැබේ.

  • 69 ම.ව, (2008), 28: 20-35
  • 70 ම.ව, (2006), 28: 21
  • 71 වංස. පි. 407
  • 72 සි. ථූ. ව, පි. 148
  • 73 ම.ව, (1996), 54: 23-26
  • 74 සි. ථූ. ව, පි. 151, 222
  • 75 සි. ථූ. ව, පි. 158
  • 76 සි. ථූ. ව, පි. 178
  • 77 Ez, Vol iv, P 35
  • 78 ඖ. ශා. ස. (2001), I වෙ, පි. 105-107
‘විශ්වඹෞශධ’ යනුවෙන් ද ඉඟුරු හඳුන්වනු ලබන්නේ සියලු ලෙඩට බෙහෙත යන අර්ථයෙන් ය . එමෙන් ම උතුම් බෙහෙත යන අර්ථයෙන් ‘මහෞෂධ’ යන නාමයෙන් ද හඳුන්වනු ලබයි. නගරයෙහි උපන් නිසා හා ‘උෂ්ණ’ යනුවෙන් ද ගිනියම් බව දැක්විමට ද ‘නාගර’ යන ගෞරව නාමය යෙදෙන අතර දකුණු ඉන්දියාවේ බහුලව වැවෙන නිසා ‘ශාංගවේර’ යන නමින් ද හැඳින්වේ. ඉඟුරු ආහාරයට ගෙන මංඤොක්කා ද ආහාරයට ගත් විට එම සංයෝගය විෂවීමට හැකි බව සාමාන්‍ය ජනයාගේ විශ්වාසයයි. ‘විෂය පණ පැහැර ගනී’ යන්න සාමාන්‍ය මතය බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ.79

තහනම් මත්පැන් සෑදීමට අමු ඉඟුරු යොදා ගැනේ. එමෙන් ම හොඳින් ඉඟුරු දැමූ තේ කෝප්පයක් පානය කිරීමෙන් ඈනුම් යාම නතර වේ. තව ද ඉඟුරු භාවිතය නිසා මතක ශක්තිය වැඩි වේ. මේ ආකාරයෙන් ඉඟුරු කෑම හා බීම වර්ග රසවත් කරන කුළුබඩු විශේෂයක් ලෙස භාවිතා කරන බව ආයුර්වේද ශාක සංග්‍රහය පෙනවා දේ.80

අතීතයේදී මිරිස් ද භාවිතා කළ බව වංසකථා තුළින් හෙළි වේ. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) භික්ෂූන්ට නොදී අනුභව කළ යමක් ඇත්දැයි කල්පනා කළ අවස්ථාවේදී මළමිරිස් පැස්සක් අනුභව කළ බව මතක්ව ඇත. මෙයට තමාට ම දඬුවම් පමුණුවා ගැනීමක් ලෙස රජතුමා මිරිසවැටි විහාරය කරවා භික්ෂූන්ට පිළිගන්වා ඇත.81 එන ‘මළමිරිස් පැස්ස’යනු මළමිරිස් අච්චාරුව බව සිංහල ථූපවංසය පෙන්වා දේ. මළමිරිස් යනු මළය රටින් ගෙන එන ලද මිරිස් වර්ගයක් බව ද එහි සඳහන් ය .82 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී මළය රටේ හටගත් මිරිස්වලට විශේෂ තැනක් හිමි වූ බව ය . එම අවස්ථාවට මිරිස්පැස්සක් මුල් වූ බව පූජාවලියද සඳහන් කරයි.83 දුටුගැමුණු රජතුමා රුවන්වැල්සෑය ඉදිකරන දිනවලදී විවිධ ආහාරපාන ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත. ආහාර මෙන් ම මිරිස් ආදී දේ ද එම දිනවලදී එහි තබ්බවා ඇත.84 තව ද දුටුගැමුණු රජතුමා මුළු ලංකාවේ ම ගර්භනී ස්ත්‍රීන්ට මිරිස් හා ලුණු ලබාදී ඇත.85 මෙම තොරතුරුවලින් පෙනී යන්නේ අනුරාධපුර යුගයේදී මිරිස් ශාකය ආශ්‍රිත නිශ්පාදන බොහෝ සෙයින් පරිභෝජනය කළ බව ය . එප්පාවලින් හමුවූ ලිපියකද භික්ෂූන්ගේ මිරිස් පරිභෝජනය උදෙසා දෙ අකක් වෙන්කළ බව සඳහන් වීමෙන් අනුරාධපුර යුගයේ ජනයා මිරිස් පරභෝජනය කළ බව සැක හැර පැවසිය හැකි ය .86

  • 79 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, III කො, (1985), පි. 52-53
  • 80 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ඖ.ශා.ස. I වෙ, (2001), පි. 107
  • 81 සි. ථූ. ව, පි. 142-143
  • 82 සි. ථූ. ව, පි. 229
  • 83 පූජා, 33, පි498
  • 84 සි. ථූ. ව, පි. 158
  • 85 සි. ථූ. ව, පි. 193
  • 86 Ez, Vol iii, P 188
Capsicum annuum L. යන විද්‍යාත්මක නාමයෙන් හඳුනා ගන්නා මිරිස් ශාකය SOLANACEAE යන කුලයට අයත් ය . මෙම ශාකයේ වර්ග රාශියක් ලොකය පුරා ව්‍යාප්තව ඇත. ශ්‍රී ලංකාව පුරාම මිරිස් ව්‍යාප්තව ඇත. තිස්සමහාරාමය, මහියංගනය ආදී ප්‍රදේශවල මිරිස්වලට විශ්ෂත්වයක් හිමි වේ. මේ මිරිස් වර්ග අතරින් කොච්චි මිරිස් ඉතා සැර මිරිස් වර්ගයකි. එමෙන් ම එf`ඞ්ර මිරිස්, පෙට්ටි මිරිස්, නයි මිරිස්, ආදී වර්ග රාශියක් වන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දේ.87 අනුරාධපුර යුගයේදී ජනයා සූදුරු හෝ මහදුරු එසේත් නැතිනම් ඒ වර්ග දෙකම භාවිතා කරන ලද බව වංසකථා අධ්‍යයනයෙන් පෙනී යයි. දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) රුවන්වැල්සෑය ඉදිකරන විට විවිධ ආහාරපාන ජනයා වෙනුවෙන් වාසල් දොරටුව අසල තබා ඇත. ආහාර මෙන් ම දුරු මිරිස් ආදී දේ ද තබ්බවා ඇත. මෙහිදී දුරු ලෙස හඳුන්වා ඇත්තේ සූදුරු හෝ මහදුරු ය .88 දුරු දෙමළ භාෂාවේදී ‘ගොම්ධු, සොහිකිරේ’ ලෙස ද හිංදි භාෂාවේදී ‘බරීසෞංප්, පනමෞරි’ ලෙස ද බෙංගාලි භාෂාවේදී ‘මෞරි, පනමෞරි’ ලෙස ද සංස්කෘතයේදී ‘ගාලෙය, ශාලිකාවනජා’ ලෙස ද හඳුනා ගනී. මෙම ශාකය වර්ග කිහිපයකින් යුතක්ත බව රත්නායක මහතා පෙන්වා දේ. ඒවා මෙසේ ය .
  1. සුදුදුරු
  2. මහදුරු
  3. කළුදුරු
  4. දෙව්දුරු

දුරු පැළෑටියේ නිජබිම ඉන්දියාව වන අතර ඒවා ලංකාවේ ද වැවේ. සුදුදුරු පැළෑටියේ නිජ බිම ලෙස ඉන්දියාව, පංජාබය, රාජස්ථානය, හා ලංකාව ලෙස සලකයි. මහදුරු ලංකාවේ හා ඉන්දියාවේ සියළු ප්‍රදේශවල වැවේ. දෙව්දුරු පැළෑටියෙහි නිජ භූමිය හිමාලය, කශේමිරය ඉන්දියාව ආශ්‍රීත ප්‍රදේශ ය .89 සිව් වන මිහිඳු රජු (ක්‍රි.ව. 956-972) පාංශුකූලික භික්ෂූන්ට ලූණු පූජා කර ඇත.90 මීට අමතරව සහස්සවත්තු ප්‍රකරණයේ ද මෙ යුගයේදී ලූණු භාවිතා වූ බව සඳහන් වේ.91


  • 87 වික්‍රමසිංහ පී, (1994), මිරිස්, ඔසුතුරුවිසිතුරු IV කාණ්ඩය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පි. 248
  • 88 සි. ථූ. ව, පි. 158
  • 89 රත්නායක එස්, (1994), දෙව්දුරු, ඔසුතුරුවිසිතුරු IV කාණ්ඩය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පි. 22-24
  • 90 ම.ව, (1996), 54: 23-26
  • 91 සහස්ස, පි. 80
මෙම ශාක වර්ග හැරුණු කොට තවත් ශාක වර්ග කිහිපයක් අනුරාධපුර යුගයේදී කෘෂිකාර්මික කටයුතුවලට යොදාගත් බව වෙනත් ප්‍රාථමික මූලාශ්‍රය ප්‍රකාශ කරයි. ඒ අනුව සුමංගල විලාසිනියෙහි ධාන්‍ය වර්ග පහක් පිළිබඳව සඳහන් බව රණවැල්ල මහතා පවසයි. ඒවා නම් ‘ගොධූම, යව, කංගු, වරක හා කුද්‍රැසක’ ය .92 මෙහි සඳහන් ‘ගොධූම’ යනු ‘තිරිඟු’ නම් ධාන්‍ය වර්ගය බව පාලි සිංහල ශබ්ධකෝෂය පෙන්වා දෙයි.93 එමෙන් ම ‘වරක’ යනු එනමින් ම ඇති ධාන්‍ය වර්ගයක් බවත් ‘කුද්‍රැසක’ යනු ‘අමු’ නම් ධාන්‍ය වර්ගය බවත් එම ශබ්ධකෝෂය පෙන්වා දේ.94 මෙහි සඳහන් ‘කංගු’ නම් ධාන්‍ය වර්ගය පෙර සඳහන් කළ ‘තණ සහල්’ නම් ශාක වර්ගයයි. සිඛවළඳවිනිසෙහිදී මෙම ධාන්‍ය වර්ග පහ ‘ගොධූම, යව, තණ සහල්, වරා හා හමු’ ලෙස දක්වන බව රණවැල්ල මහතා පවසයි.95 සුමංගල විලාසිනායෙහි හා සිඛවළඳවිනිසෙහි සඳහන් ‘යව’ නම් ධාන්‍ය වර්ගය බාර්ලි බව ආයුර්වේද ඖෂධ සංග්‍රහය පෙන්වා දේ.96 එමෙන් ම මෙම ග්‍රන්ථ දෙකෙහි එන ‘වරා හා වරක’ සමාන ධාන්‍ය වර්ග බව මේ තොරතුරු අනුව අනුමාන කළ හැක. මීට අමතරව ‘උළු හාල්’ නම් ශාක වර්ගය ද කෘෂිකාර්මික කටයුතුවලට යොදාගත් බව මැදඋල්පොත ටැම් ලිපියෙන් පෙනී යයි.97 එමෙන් ම මුං ශාකය ද කෘෂිකාර්මික කටයුතු උදෙසා යොදාගත් බව තෝනිගල හා එප්පාවල සෙල්ලිපිවලින් පෙනී යයි.98 ලංකාවේ දකුණුපස බ්‍රහ්මචෝල නම් ගමක මෑ ඇට වැපිරූ බව රසවාහිනිය පෙන්වා දේ.99 මේ ආදී වූ කෘෂිකර්මය සමඟ බැඳුණු ශාක වර්ග බෙහෝමයක් වෙනත් මූලාශ්‍රයවලින් හමු වුව ද වංසකථා අධ්‍යානයෙන් හෙළි වන්නේ ඉහතදී සඳහන් කරණ ලද ශාක වර්ග කිහිපය පමණි.

  • 92 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, එම, (2009), පි. 162
  • 93 ශ්‍රී සුමංගල හිමි, එම, (1965), පි. 279
  • 94 එහිම, පි. 460, 255
  • 95 ඉන්දික, එම, (2012), පි. 161
  • 96 ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආ.ඖ.ස I පිය, III කො, (1985), පි. 295
  • 97 Ez, Vol iv, P 55-57
  • 98 Ez, Vol iii, P 177-178, ibid, P 193-194
  • 99 රසවා. පි. 195