හයවන පරිච්ඡේදය

අනුරාධපුර යුගයේදී ශාක ඇසුරු කරගෙන ගොඩනැගුණු උද්‍යාන

මානව ශිෂ්ටාචාරය ආරම්භ වී කලක් ගත වූවායින් පසු මානවයා තම ජීවන රටාව වෙනත් මඟකට යොමු කළහ. මේ අනුව ශාක හා සත්ව ගෘහාශ්‍රිත කරණය සිදු කළ මානවයා තමා අවට පරිසරය පිළිබඳව සැළකිළිමත් වූහ. එම ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයක් ලෙස උද්‍යාන සංකල්පය මානව සමාජය තුළ ජනිත විය.

මේ ආකාරයෙන් ලෝකය පුරා බිහිවූ මානව ශිෂ්ටාචාර තුළින් විවිධ වූ උද්‍යාන සංකල්ප නැගී එන්නට විය. මිසර ශිෂ්ටාචාරය, බැබිලෝනියන් ශිෂ්ටාචාර, ග්‍රීක රෝම ආදී ශිෂ්ටාචාර ඇසුරින් මෙවන් උද්‍යාන සංකල්පයන් පිළිබඳව තොරතුරු හමුවේ. එම වාතාවරණය ලෝකයේ වෙනත් රටවල මෙන් ම ලංකාවේ ද පැවති බව මූලාශ්‍රය ඇසුරින් අනාවරණය වේ. වංසකථා පෙන්වා දෙන ආකාරයට අතීත ලංකාවේ දියුණු උද්‍යාන සංකල්පයන් පැවතිණි. මේ තෙරතුරු අනුව හෙළිවන්නේ අතීත රජවරුන් ජනයාගේ යහපත උදෙසා විවිධ සැළසුම් අනුව උද්‍යාන කරවා ඇති බව ය . එමෙන් ම රජකීයන්ගේ සුඛවිහරණය උදෙසා රජ ගෙවුයන් ආදිය ද කරවා ඇත. ගෙවතු වගාව හෙවත් Horticulture යන වචනයෙන් උද්‍යාන නිර්මාණ ක්‍රමය අර්ථ දැක්වෙන බව විශ්වකෝෂය පෙන්වා දේ. එමෙන් ම එයට අනුව මල් වැවීම, පළතුරු වැවීම, අලංකාර ශාක වැවීම ආදී ලෙස සකස් කරන ලද විශේෂ භූමීන් උද්‍යාන ලෙස සලකනු ලැබේ.1 මෙරට වංසකථා ඇසුරින් හමුවන උද්‍යාන ද මෙවන් වූ විශේෂ අරමුණු අනුව ඉදිකළ ආකාරය දැකගත හැක. එමෙන් ම මෙම අරමුණුවලින් බැහැරව වෙනත් විශේෂ අරමුණු පෙරදැරි කරමින් ඉදිකරන ලද උද්‍යාන ද දැකගත හැක.

ලංකා ඉතිහාසයේ උද්‍යාන සංකල්පය ආරම්භ වූයේ කවදා ද යන්න නිශ්චිතව ම හඳුනාගත නොහැක. එහෙත් වසර දෙදහස් පන්සියකට එහා අතීතයක් ලංකාවේ උද්‍යාන සංකල්පන් සතු ය . මෙලෙස ඉදිවන උද්‍යාන අතරින් වංසකථා කතුවරුන් ප්‍රථමයෙන් හඳුනාගන්නා උද්‍යානය වන්නේ ‘මහා නාග වන උද්‍යානය’ නම් උද්‍යානයයි. මෙම උද්‍යානය පිළිබඳව තොරතුරු හමුවන්නේ ගෞතම බුදුන් විසින් ලංකාවේ යක්ෂයින් අතර ඇති වීමට ගිය සටනක් වැළැක්වීමට ලංකාවට වැඩම කළ බව වාර්ථා කරන අවස්ථාවෙන් ය . මෙම සටන ඇති වීමට ගියේ මහියංගණ ප්‍රදේශයේ සුන්දර වූ ගං ඉවුරක තුන් යොදුනක් දිග එක් යොදුනක් පළල රම්‍ය වූ මහා නාග වනය නම් උයනෙහි යක්ෂයන්ගේ යුධ භූමියෙහි බව මහාවංසය පෙන්වා දේ.2 මෙම උද්‍යානය වනෝද්‍යානයක් වන අතර එය සාරවත්ව වැඩී ගිය නා ගස් පෙළින් යුක්ත වූ නිසා ‘මහා නාග වනෝද්‍යානය’ ලෙස හඳුන්වා ඇති බව වංසත්ථප්පකාසිනීය පෙන්වා දේ.3

  • 1 හෙට්ටිආරච්චි, 1970, 663
  • 2 ම.ව, (2008), 1: 21-22
  • 3 වංස. පි. 60
සැබැවින් ම නාග යන වචනයෙන් නා ගස යන අර්ථය හැඟවෙන බව ශාක පිළිබඳ පරිච්ඡේදයේදී පෙන්වා දුනි. මේ අනුව වංසත්ථප්පකාසිනීය මෙම උද්‍යානයේ නාමය පිළිබඳව කළ අර්ථ විවරණය පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනගාගත හැකි ය . සිංහල ථූපවංසය දක්වන ආකාරයට බුදුන් ජීවමාන කාලයේදී ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මහා නාගවන උද්‍යානයට වැඩම කර ඇති අතර මෙම උද්‍යානය මහවැලි ගඟ අසළ පිහිටි දොළොස් ගව්වක් දිග සතර ගව්වක් පළල උද්‍යානයකි.4 මහානාග වන උයන නම් වූ වන උයන මහවැලි ගං සමීපයේ පැවති බවත් තුන් යොදුනක් දික්ව පැවති බවත් යොදුනක් පළල පැවති බවත් සිංහල ධාතුවංසය දක්වයි. එමෙන් ම රත්නපුර ශ්‍රී නිවාසාරාම මූලමහා විහාරයෙන් ලැබුණු ධාතුවංස පිටපතේ මෙය ‘මහා ණුග වනොද්‍යාණ’ ලෙස ද මාතර සිරිපවරනිවේසාරාමයෙන් ලැබුණු ධාතුවංස පිටපතේ මෙය මහා ‘නුඟ වනොද්‍යාන’ ලෙස ද මතර ඤාණාභිවංසසිරිධම්මරක්ඛිතාරාමයේ ධාතුවංස පිටපතෙහි ‘මහා නුග වණොද්‍යාණ’ ලෙස ද ගාල්ල ථූපාරාමයෙන් ලැබුණු පිටපතේ ‘මහා නුග වණොද්‍යාන’ ලෙස ද එම ස්ථානයෙන් ලැබුණු අනෙක් පිටපතෙහි ‘මහා නුග වනොද්ධ්‍යානන්’ ලෙසත් දක්වා ඇත.5

මෙම තොරතුරු අනුව පෙනී යන්නේ මහා නාග වන උයන මහවැලි ගංගා ඉවුරෙහි පිහිටි බවත් එහි නුග ශාක හෝ නා ශාක රෝපණය කර තිබූ බව හෝ මේ ශාක දෙක ම රෝපණය කර තිබූ බව ය . එමෙන් ම මෙම උද්‍යානයේ භූමි ප්‍රමාණය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමේදී වංසකථා පොදු එඟතාවයකින් තොරතුරු දක්වයි. ඒ අනුව මෙම මහා නාග වන උද්‍යානය වර්ග සැතපුම් එකසිය අනූ දෙකක ප්‍රමාණයෙන් යුක්ත වූවකි. එයින් කියැවෙන්නේ මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් හාරසිය අනූ එකකට ආසන්න භූමි ප්‍රමාණයක ව්‍යාප්තවී තිබූ බව ය . එමෙන් ම මෙම භූමියේ එකල යක්ෂයින්ගේ රැස්වීම් පවත්වන ලද බව වංසකථාවල සඳහන් විය. එයින් පෙනී යන්නේ විජය කුමරුගේ සම්ප්‍රාප්තියට ප්‍රථම ලංකාවේ උද්‍යාන සංකල්පය බිහිවී තිබූ බවත් එක් ස්ථානයකට එක්ව සාකච්ඡා කිරීම් ආදී රැස්වීම් පැවැත්වීමේදී ද මෙම උද්‍යානය යොදාගත් බවත් ය .

අනුරාධපුර රාජධානිය පැවති අවදිය ලෙසින් හඳුනා ගන්නා කාලසීමාව වන විට ද මෙම මහා නාගවන උද්‍යානය පැවති බව වංසකථා ඇසුරින් පෙනී යයි. මෙම උද්‍යානය පිළිබඳ තොරතුරු මහාවංසයේ දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) පිළිබඳව සඳහන් වන කොටසින් හෙළි වේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජ සමයේ ලංකාවට දකුණු අකුධාතුව වැඩමවීමේදී සුමනසාමනේරයන් මුල්තැන ගෙන කටයුතු කර ඇත. මෙම අවස්ථාවේදී සුමනසාමනේරයන් රජුට පවසා ඇත්තේ පුරය හා මාර්ගය දෙපස සරසවා පෙහෙවස් සමාදන් වූ පිරිස් සමඟ මඟුල් ඇතා පිට නැගී සේසත ද දරාගෙන තූර්යන් සහිතව සවස් වේලේ මහානාග වන උයනට පැමිනෙණ ලෙස ය . සුමනසාමනේරයන් පසුව ධාතුන් රැගෙන විත් මිහිඳුහිමියන් අතට දුන් අතර මිහිඳු හිමියන් අකු ධාතුව රැගෙන සවස්වේලේදී රජු පැමිණ සිටි මහානාග වන උයනට වැඩම කර ඇති බව මහාවංසයේ සඳහන් ය .6 වංසත්ථප්පකාසිනීය ද මහානාග වන උද්‍යානයේදී මෙම සිදුවීම සිදු වූ බව පෙන්වා දේ.7 එහෙත් සිංහල ථූපවංසය දක්වන ආකාරයට සුමනසාමනේරයන් විසින් බුදුන්ගේ දකුණු අකු ධාතුන් වහන්සේ රැගෙන පැමිණ ඇත්තේ මහමෙව්නා උයනට ය .8 මෙම මහමෙව්නා උයන මහා නාග වන උයනම විය හැකි බවට ද මෙහිදී සැකයක් මතු වේ.

  • 4 සි.ථූ.ව, පි. 132
  • 5 සි.ධා.ව, පි. 359
  • 6 ම.ව, (2008), 17: 4-25
  • 7 වංස. පි. 289
  • 8 සි.ථූ.ව, පි. 103
මහානාග වන උයන මෙන් ම එකල පැවති තවත් විශේෂ වන උයන් කිහිපයක් පිළිබඳව වංසකථා කතුවරුන් පෙන්වා දේ. දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 250-210) සමයේ සිදු වූ සිදුවීම් දැක්වීමේදී නම් කරන එක් වන උයනක් වන්නේ ‘නදුන් වනයයි’. මිහිඳු මහරහතුන්ට දේවානම්පියතිස්ස රජු මහමෙව්නා උයන පූජා කළ පසු මිහිඳු හිමි එහි ඉදිකිරීම් ලකුණු කර රජ ගෙට වැඩම කර ඉන් පසුව නදුන් වනයෙහි වැඩ හිඳ අග්ගික්ඛන්ධොපම සූත්‍රය ජනයාට දේශනාකර ඇත.9 එමෙන් ම හිමි තෙවන දින රජගෙයි දන් වළඳා නදුන් වනයෙහි වැඩ හිඳ ආශිර්විෂොපම සූත්‍රය දේශනා කර ඇත.10 එමෙන් ම මිහිඳුහිමි පස්වන දිනයේදී මෙම වනයේ සිට ඛජ්ජනියපර්යාය නම් සූත්‍රය දේශනා කර හයවන දිනයේදී ගෝමයපිණ්ඩි නම් සූත්‍රය දේශනා කර සත් වන දිනයේදී ධම්සක්පවතුන් සූත්‍රය දේශනා කර ඇති බව සිංහල බෝධිවංසයේ සඳහන් ය .11 මෙහි සඳහන් වන නදුන් වනය පෙර සඳහන් කළ නන්දන උද්‍යානය ද විය හැකි ය . වංසකථා දක්වන තොරතුරු අනුව එය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. මේ හැරුණු විට තවත් වංසකථා කිහිපයක් ම මිහිඳුහිමි නන්දන උද්‍යානයෙහිදී ධර්මය දේශනා කළ බව දක්වා ඇත.12 එහෙත් සිංහල බෝධිවංසය දක්වන ආකාරයට නදුන් වනය තිබී ඇත්තේ නන්දන උයනට සමීප ස්ථානයක ය . එය කෙසේ වෙතත් නදුන් උයන මල් හා ගෙඩිවලින් යුක්ත වූ උද්‍යානයක් බව සිංහල බෝධි වංසය ප්‍රකාශ කරයි.13

මිහිඳු හිමි නදුන් වනයෙහිදී අග්ගික්ඛන්ධොපම සූත්‍රය ජනයාට දේශනාකර ඉන් පසුව මහමෙව්නා වනාන්තරයට වැඩම කර වාසය කළ බව මහාවංසයේ සඳහන් ය .14 මෙම මහමෙව්නා වනය මහමෙව්නා උයනම විය හැකි ය . එමෙන් ම මකලන්තිස්ස කුමරු ද වන උයනක් කරවා ඇත. එය තමන්ගේ නුවර තුළම කරවූ අතර ‘පද්මස්වර වන උයන’ නමින් නම් කර ඇති බව මහාවංසයේ සඳහන් ය .15 කූටකණ්ණතිස්ස කුමරු ‘පදුමුස්සර’ නම් වනෝද්‍යානයෙහි පවුරක් කරවා ඇති බවදීපවංසයෙහි සඳහන් ය .16 මෙයින් පෙනී යන්නේ උද්‍යාන සංකල්පයන් ම පමණක් අනුරාධපුර යුගයේ නොපැවති බව ය . වන සංරක්ෂණ සංකල්පය ද එම සමාජයේ වූ බව මෙයින් පෙනී යයි. එපමණක් නොව බදුලු ටැම් ලිපිය වන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයවලින් ද පාලකයන් පවා වන සංරක්ෂණයට යොමු වූ බව පෙනී යයි.17

  • 9 ම.ව, (2008), 15: 176-177
  • 10 ම.ව, (2008), 15: 176-178
  • 11 සි.බෝ.ව, පි. 179
  • 12 දීප, 14: 14-17 සි.ථූ.ව, පි. 101
  • 13 සි.බෝ.ව, පි. 165
  • 14 ම.ව, (2008), 15: 177
  • 15 ම.ව, (2008), 34: 34-35
  • 16 දීප, 20: 31-34
  • 17 Epigraphia Zeylanica, Vol III, P 177-178/ Epigraphia Zeylanica, Vol v, P 71
දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 250-210) සමය වන විට ලංකාවේ වන උද්‍යාන මෙන්ම උද්‍යාන රාශියක් ද පැවති බව වංසකථා අනුව හෙළි වේ. එවන් එක් උද්‍යානයකි ‘නන්දන උද්‍යානය’. මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර දේවානම්පියතිස්ස රජුගේ ඇත් හලේදී ධර්මය දේශනා කර එහි ඇති ඉඩ ප්‍රමාණය මදි වූ නිසා නන්දන නම් රජ උයනට වැඩම කර ධර්මය දේශනා කළ බව මහාවංසයේ සඳහන් වේ. එමෙන් ම එදින මිහිඳුහිමි ඇතුලු පිරිස සවස්කාලය ගතකර ඇත්තේ ද මෙම උද්‍යානයෙහි ය .18 මෙම උද්‍යානය නුවරින් දකුණු දිශාවෙහි පිහිටා තිබී ඇති බවදීපවංසය පෙන්වා දේ.19 මහාවංසය දක්වන ආකාරයට මෙම උද්‍යානය සුන්දර උද්‍යානයක් වූ අතර ‘කුස’ නම් තෘණ ශාකයෙන් ආවරණය වී තිබී ඇත.20 මෙම තෘණ ශාකයන් උස්ව වැඩුණු මුදු පහස දෙන තෘණ ශාක බවත් පළා වන් පැහැ ගන්නා බවත් දක්වන වංසත්ථප්පකාසිනිය එම උද්‍යානය සිහිල් සෙවනැලි සහිත උද්‍යානයක් වූ බව ද දක්වයි.21 එමෙන් ම පසුව මෙම උයන මිහිඳු හිමි වැනි ශ්‍රේෂ්ඨ වූ රහතුන් වහන්සේ විසින් ශාසනය බැබළවූ ස්ථානය යන අර්ථයෙන් ‘ජෝතිවන’ ලෙස නම් කර ඇත.22

වංසකථා අතර සඳහන් වන තවත් එක් උද්‍යානයකි ‘මහාමේඝවන උයන’. පණ්ඩුකාභය රජුගෙන් පසු ඔහුගේ පුතා වූ මුටසීව කුමරු මල් හා පලතුරු ගස්වලින් යුක්ත වූ මහාමේඝවන උද්‍යානය කරවා ඇත.23 මුටසීව රජු මෙම උද්‍යානය කරවූ බව රාජාවලිය ද දක්වයි.24 එමෙන් ම ඒ පිළිබඳව පූජාවලියෙහි ද දැක්වේ.25 මහාවංසය දක්වන ආකාරයට මෙම උයනේ බිම ගන්නා දවසේදී අකාලයේ මහා වර්ෂාවක් පතිත වූ නිසා මහාමේඝවන උද්‍යානය ලෙස එය නම් කර ඇත.26 මෙම උද්‍යානය සිසිල් ගන සෙවණැලි ආදී නොයෙක් උද්‍යාන ගුණයෙන්ගෙන් යුක්ත වූ උද්‍යානයක් බව වංසත්ථප්පකාසිනීය පෙන්වා දේ.27දීපවංසය දක්වන ආකාරයට මෙම උද්‍යානය නුවරට නුදුරු නොළං තැනක පිහිටා තිබී ඇත. එමෙන් ම එය විවේකයෙන් ගත කිරීමට සුදුසු උද්‍යානයක් වූ අතර පුෂ්ප හා ඵලයන්ගෙන් යුක්ත වූ බව ද එම ග්‍රන්ථයේ සඳහන් ය .28 එමෙන් ම මෙම උද්‍යානය මල් හා ගෙඩිවලින් පිරුණු ශාකවලින් යුක්ත වූ බව සිංහල බෝධිවංසයෙහි ද වේ.29 තව ද එම උද්‍යානය පවුරකින් ආරක්ෂා කර තිබූ අතර පිවිසුම් දොරටු හා රාජකීය පිවිසුම් දොරටුවලින් ද යුක්තව වූ බවදීපවංසය පවසයි. එමෙන් ම එහි සිසිල් ජලය ඇති පොකුණු ද තිබී ඇති බවදීපවංසය පෙන්වා දේ.30 එමෙන් ම මහාවංස වාර්තාවලට අනුව දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 250-210) සමය වන විට මෙම උද්‍යානයේ ඇඳ පුටු ආදියෙන් යුක්ත වූ අලංකාර රාජමන්දිරයක් තිබී ඇත.31 මෙයින් පෙනී යන්නේ මෙම යුගය වන විට ජනයා උද්‍යාන අලංකරණය පිළිබඳ මනා දැනුමකින් යුක්ත වූ බවත් තමා සතු දැනුම යොදාගනිමින් ඵලදායී නිර්මණයන් ගොඩනැගූ බවත් ය . ජනතාවට හා පාලකයන්ට විවේකයෙන් ගත කිරීමට උචිත පරිසරයක් මෙහිදී ගොඩනගා ඇත. පිරිසිදු වාතාශ්‍රය, සුන්දර වටපිටාව ආදිය මෙම උද්‍යානයෙහි වූ අතර එතුළින් සෞඛ්‍යයමත් ජන පාලක හා පාලිත පන්තියක් ගොඩනැගීමට මුටසීව රජු උත්සාහ ගත් බව මෙම තොරතුරු අනුව අනාවරණය වේ. උද්‍යානයක තිබිය යුතු බොහෝ අංගවලින් මෙම උද්‍යානය අලංකාර වී තිබූ බව වංසකථාවල සඳහන් වූ මෙම තොරතුරුවලින් පෙනී යයි. එමෙන් ම අනුරාධපුර යුගයේ ජනයා පරිසරය සමඟ සම්බන්ධ වූ එක් අවස්ථාවක් ලෙස මෙම උද්‍යාන සංකල්පය පෙන්වා දිය හැකි ය .

  • 18 ම.ව, (2008), 15: 2
  • 19 දීප, 13: 9-11
  • 20 ම.ව, (2008), 15: 2
  • 21 වංස. පි. 260
  • 22 ම.ව, (2008), 15: 221
  • 23 ම.ව, (2008), 11: 2-3
  • 24 රාජා, පි. 173
  • 25 පූජා, 33, පි487
  • 26 ම.ව, (2008), 11: 2-3
  • 27 වංස. පි. 225
  • 28 දීප, 1: 46-47
  • 29 සි.බෝ.ව, පි. 165-166
  • 30 දීප, 1: 46-47
  • 31 ම.ව, (2008), 15: 8-9
එම උද්‍යානය දිගු කලක් රාජකීය උද්‍යානයක් ලෙස පැවති බව මහාවංසයට අනුව හෙළි වේ. මුටසීව රජු ඉදිකළ මහාමේඝවන උද්‍යානයේ වටිනාකම වංසකථා කරුවා වඩ වඩාත් ඉස්මතු කර දක්වන්නේ දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 250-210) සමයේදී ය . දේවානම්පියතිස්ස රජ දවස මිහිඳු හිමි ලංකාවට වැඩම කර ඇති අතර ලංකාවේ ගත කළ දෙවන දින නන්දන උයනේදී ධර්මය දේශනා කර එම ස්ථානය නගරයට ආසන්න වූ නිසා එහි රාත්‍රිය ගත කිරීමට අපහසු බව පවසා මිහින්තලයට වැඩම කිරීමට සූදානම් විය. මේ අවස්ථාවේදී දේවානම්පියතිස්ස රජතුමා මහාමේඝවන උයන ආසන්නයේ පවතින බව පවසා මිහිඳුහිමියන්ගෙන් එම උයනේ රාත්‍රිය ගත කරන ලෙස ඉල්ලා ඇත. හිමියන් ඒ අනුව මහාමේඝවන උයනේ රාත්‍රිය ගත කළ අතර එලෙස නවාතැන් ගත් ස්ථානයේ කොළොම් හොය සමීපයේ පසුව ඉදි කරන ලද චේතිය නිවන්ත චේතිය ලෙස නම් කර ඇත.32 සිංහල බෝධිවංසය ද මෙලෙස මිහිඳුහිමියන් මහමෙව්නා උද්‍යානයේ රාත්‍රිය ගත කළ බව දක්වා ඇත.33 මිහිඳු හිමි ලංකාවට වැඩම කර තෙවන දිනයේදී මෙම මහමෙව්නා උද්‍යානය සඟ සතු කරන ලදී. මහාවංසයට අනුව එය මෙසේ සිදු විය. දේවානම්පියතිස්ස රජු ‘මේ මහමෙව්නා උයන සංඝයාට දෙමි’ කියා මිහිඳු හිමියන්ගේ අත්ලෙහි දක්ෂිණොදකය වැගිරවූයේ ය . එම අවස්ථාවේදී ජලය පොළව මතුපිටට වැටුණු පසුව පොළව කම්පාවට පත්ව ඇත. එයට හේතුව රජු විමසූ විට හිමි පවසා ඇත්තේ මේ ලක්දිව සංඝ සස්න පිහිටි බැවින් එසේ වූ බව ය . ඉන් පසුව මිහිඳුහිමි මෙම උද්‍යානයේ මාලක සීමා ළකුණු කරවා ඇත. මේ සීමාවන් අතර ගිණිහල් පොකුණ ද බෝධිය රෝපණ කළ යුතු ස්ථානය ද පොහෝය ගෙය ද සංඝයාට උපන් ලාභයන් බෙදන ස්ථානය ද චතුශ්ශාලාව ද වූ බව මහාවංසය දක්වයි.34 ථූපවංසය ද මෙලෙස දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙව්නා උද්‍යානය සඟ සතු කළ බව දක්වා ඇත.35 දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී ශ්‍රී මහා බෝධිය වැඩමවා රෝපණය කරවා ඇත්තේ ද මහමෙව්නා උයනෙහි ය .36 එමෙන් ම පසුකාලීනව භාතිය තිස්ස රජතුමා (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) මහමෙව්නා උද්‍යානයෙහි ආරක්ෂාව පිණිස ‘ප්‍රාකාර පරීක්ෂේපයක් හා ස්වාරබන්ධනයද’ කරණ ලද බවදීපවංසයේ සඳහන් වේ.37 එමෙන් ම වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 214-236) මහමෙව්නා උද්‍යානයෙහි ‘සප්තපණ්හික’ නම් පහය කරවා ඇති බව ද එහි වේ.38

ගෞතම බුදුන් ජීවමාන කාලයේදී මහමෙව්නා උද්‍යානය භයානක යක්ෂයන් වාසය කරන ස්ථානයක් බව වංසකථා පෙන්වා දේ. මොවුන් රැස්වීම් පවත්වා ඇත්තේ ද මෙම උද්‍යානයේදී බවදීපවංසය දක්වයි.39 බුදුන් ලක්දිව නාගයන් සමාදාන කරීමට වැඩම කර එම කාරය සිදු කිරීමෙන් පසුව ස්ථාන කිහිපයකට වැඩම කර ඇති අතර මහමෙව්නා උයනෙහි මහා බෝධිය අනාගතයේදී පිහිටුවන ස්ථානයට ද වැඩම කර ඇති බව ද එහි සඳහන් වේ.40

  • 32 ම.ව, (2008), 15: 8-9
  • 33 සි.බෝ.ව, පි. 165-166
  • 34 ම.ව, (2008), 15: 24-25
  • 35 සි.ථූ.ව, පි. 101
  • 36 සි.බෝ.ව, පි. 197
  • 37 දීප, 22: 18-19
  • 38 දීප, 22: 43
  • 39 දීප, 1: 46-47
  • 40 දීප, 2: 59-61
මහාවංසය දක්වන ආකාරයට පෙර බුදුවරු මිහිපිට පහළ වූ අවස්ථාවන්හිදී ද මේ ආකාරයෙන් මහාමේඝවන උද්‍යානය පිහිටි ස්ථානයේ තිබූ උද්‍යානවල ද සීමා කරවා ඇත. කකුසඳ සර්වඥයන්ගේ කල ලංකාව ‘ඔජදිප’ නම් වූ අතර මෙම උද්‍යානය ‘මහාතීර්ථ’ නම් විය. මෙම කාලයේ මෙම රටේ ජනයාට රකුසන් හේතුවෙන් ලෙඩක් සෑදුනි. එම සත්වයන් දුකින් මුදවා ගැනීමට බුදුරජුන් ඔජදීපයේ මහාතීර්ථ නම් උයනට වැඩමවා ඇත. එම අවස්ථාවේදී මෙම රටේ රජු බුදුන්ට මහාතීර්ථ උයන පූජාකර ඇත.41 කෝණාගමන බුදුන්ගේ කල ලංකාව ‘වරදීප’නම් වූ අතර මහමෙව්නා උයන ‘මහානාම’ නම් විය. මෙම කාලයේදී වරදීපයේ වර්ෂාව නිසා මිනිසුන්ට හානි සිදු විය. මෙය දුටු කෝණාගමන බුදුරජුන් හා තිස්දහසක් රහත් භික්ෂූන් අහසින් වරදීපයේ සමන්තකූටයට වැඩම කර ඇති අතර එහි ආනුභාවයෙන් වර්ෂාවෙන් ඇති වූ උවදුර ක්ෂය වී ගොස් ඇත. පසුව බුදුන් කෙරේ පැහැදුණු රජු මහානාම නම් උද්‍යානය ද තවත් බොහෝ දේ ද බුදුන්ට පූජා කර ඇත. මහාවංසය දක්වන ආකාරයට එකල මෙම උයන අකාලපුෂ්පයෙන් අලංකාර වී තිබී ඇත.42 කාශ්‍යප බුදුන්ගේ කාලයේදී ලංකාව මණ්ඩදීප නම් වූ අතර මහමෙව්නා උද්‍යානය ‘මහා සාගර’ නම් වී ඇත. මණ්ඩදීපයේ විශාලපුර රජුගේ සොහොයුරු මණ්ඩ කුමරු සිදුකිරීමට ගිය භයානක සටන වැලැක්වීමට කාශ්‍යප බුදුරජුන් මෙරටට වැඩම කර ඇති අතර බුදුන් කෙරේ පැහැදුණු විශාලපුර රජු මහා සාගර නම් වූ උද්‍යානය පූජා කර ඇත. පෙර කල්පයන්හිදී මෙන් ම මෙම කල්පයේදී මෙම උද්‍යානය අකාල පුෂ්පයෙන් අලංකාර වී තිබී ඇති බව මහාවංසය දක්වයි.43 මේ අකාරයෙන් දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මෙන් ම ඉන් පෙර කල්පවල දී ද මහමෙව්නා උද්‍යානය පැවති බව මහාවංසයේ එන මෙම ප්‍රකාශවලින් හෙළි වේ.

දේවානම්පියතිස්ස රජ (ක්‍රි.පූ. 250-210) සමය වන විට පැවති තවත් උද්‍යානයකි ‘විජයාරාම උයන’. දේවානම්පියතිස්ස රජු මහා විහාරයේ සීමා ලකුණු කරන අවස්ථාවේදී එක් සීමාවක් ලෙස විජයාරාම නම් උයනෙහි උතුරු දොරටුව යොදාගෙන ඇත.44 දේවානම්පියතිස්ස රජුගෙන් පසු අවධිය වන විට තව තවත් උද්‍යාන ඉදිකරන ලද බව වංසකථා අධ්‍යයනයේදී පෙනී යයි. ඒ අනුව වසභ රජතුමා (ක්‍රි.ව. 250-210) දර්ශනීය මහා උද්‍යානයක් කරවා ඇති බවදීපවංසයේ සඳහන් ය .45එමෙන් ම බුද්ධදාස රජතුමාගේ (ක්‍රි.ව. 340-368) පුත් උපතිස්ස රජු (ක්‍රි.ව. 368-410) රජගෙයින් නිරිත දිශාවෙහි ප්‍රකාරයකින් වට කරන ලද උයනක් කරවා ඇති අතර එහි සිටි ලේනුන්ට රජු විසින් බත් වැටුප් ලෙස ලබා දී ඇත.46 මෙම පුවතින් පෙනී යන්නේ මෙම උද්‍යානයේදී සතුන්ට අභය ලබා දී ඇති අතර වැටුප් ලෙස ආහාර ද ලබා දී ඇති බව ය . තව ද කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 477-495) සීගිරි ගල සමීපයෙහි විහාරයක් හා උයනක් කරවා ධම්මරුචික භික්ෂූන්ට පූජාකර ඇත.47 මේඝවර්ණතිස්ස රජු (ක්‍රි.ව. 303-331) මනරම් මහා උද්‍යානයක් කරවා ඇති බවදීපවංසයේ සඳහන් ය .48 මේ ආකාරයෙන් රජවරු ඉදිකරන ලද උද්‍යාන බොහෝ අවස්ථාවලදී භික්ෂූන් උදෙසා පිරිනමන ලද බව මෙම තොරතුරු අනුව පෙනී යයි.

  • 41 ම.ව, (2008), 15: 56-75
  • 42 ම.ව, (2008), 15: 91-109
  • 43 ම.ව, (2008), 15: 125-144
  • 44 සි.බෝ.ව, පි. 175
  • 45 දීප, 22: 10
  • 46 ම.ව, (1996), 37: 201-205
  • 47 ම.ව, (1996), 39: 15-16
  • 48 දීප, 22: 57
පණ්ඩුකාභය රජ සමය වන විට රජ ගෙවුයන් පවා තිබූ බව මහාවංසයෙන් හෙළි වේ. පණ්ඩුකාභය කුමරු රාජ්‍ය අත් කරගෙන පසුව තමාට උපකාර කළ අයට ප්‍රති උපකාර කරන අවස්ථාවේදී වලභාමුඛ යකින්නට රජ ගෙවුයන වාසය කිරීමට ලබා දී ඇත.49 භාතිකාභය රජු ද උයන්වතු කරවූ බව රාජාවලියෙහි සඳහන් ය .50 සිව් වන මිහිඳු රජතුමා (ක්‍රි.ව. 956-972) සෑම කල්හි රජමාළිගාවේ තැන් තැන්වල ඇති උයන්වල මල් ගෙන්වාගෙන තුනුරුවන් පිදූ බව මහාවංසයේ සඳහන් ය .51 අනුරාධපුර යුගය වන විට රජ මාලිගාව අවට උයන් කරවා තිබූ අතර ඒවායෙහි මල් හටගන්නා ශාක පවා රෝපණය කර තිබූ බව මෙම තොරතුරු අනුව පෙනී යයි. එමෙන් ම මල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඇති කරන ලද උද්‍යාන ද අනුරාධපුර යුගයේදී පවත්වාගෙන ගිය බව වංසකථා පෙන්වා දේ. මෙම අවශ්‍යතාවය බොහෝ විට මතුවන්නට ඇත්තේ බුදුදහම මෙරට ස්ථාපිත වීමේ ප්‍රතිඵලයක් ලෙස විය හැක. මේ අනුව මුලින් ම මල් වෙනුවෙන් කළ උද්‍යානයක් පිළිබඳව තතු හෙළිවන්නේ කූටකණ්ණතිස්ස රජ (ක්‍රි.පූ. 41-19) සමයෙනි. කූටකණ්ණතිස්ස කුමරු විවිධ පුෂ්ප හටගන්නා වූ ද ගස් හා වැල්වලින් යුක්ත වූ ද උද්‍යානයක් කරවා ඇත.52 මහාදාඨිකමහානාග රජු (ක්‍රි.ව. 9-21) අනුරාධපුරයට සතර දිගින් සතර ගව්වක් උයන් කරවා ඇති අතර සීනිද්ද, බෝලිද්ද, දොඹ, දුනුකේ, වැටකේ, දෑසමන්, සපු, නා, උයන්වතු උයන්වතු කරවා ඒවායෙහි හටගත් මල්වලින් රුවන්වැලි දාගැබ පුදා ඇත.53 මහාදාඨිකමහානාග රජු මේ ආකාරයෙන් උද්‍යාන කරවූ බව පූජාවලියේ ද සඳහන් වේ.54 එමෙන් ම දෙවන කාශ්‍යප රජතුමා (ක්‍රි.ව. 650-659) ද මල් වතු කරවා ඇත.55 පළමු වන උදය රජ දවස මිහිඳු නම් කුමරු විසින් රෝහණයේ මල් වතු කරවූ බව මහාවංසයේ සඳහන් වේ.56 සෝම නුවර වාසය කළ අභය රජු දාගැබක් හා විහාරයක් කරවීමට සුදුසු භූමියක් සොයමින් සිටින විටදී මිහිඳු නම් හිමි නමක් වාසය කළ මනරම් සල් උයනක් දැක ඇත. ඒ අනුව අභය රජු මෙම ස්ථානයේ පසුව සෝමාවතී විහාරය ඉදි කර ඇත.57 මේ ආකාරයෙන් රජවරු මල් වතු ඉදිකරවන්නට ඇත්තේ බොහෝ විට බුදුන් පිදීමේ පරමාර්ථයෙන් විය යුතු ය .

එමෙන් ම පළතුරු උයන් ද අතීතයේදී ඉදිකරන ලද බව වංසකථා පෙන්වා දේ. දප්පුල රජු අඹ උයනෙහි දප්පුල පබ්බත නම් ආවාසය ඉදිකර ඇත.58 මෙයින් පෙනී යන්නේ දප්පුල රජ (ක්‍රි.ව. 797-801) සමයේ අඹ උයනක් පැවති බව ය . පළමු වන උදය රජ දවස මිහිඳු නම් කුමරු විසින් රෝහණයේ පල වතු කරවා ඇත.59 අනුරාධපුර රජ සමයේදී පරිනත වූ උද්‍යාන සංකල්පය රෝහණයදක්වා ද පැතිර ගිය බව මෙයින් පෙනී යයි. එමෙන් ම මෙම සමයේදී රෝහණයේ අඹ උද්‍යාන පවා ඇති වූ බව මින් පෙනේ.

  • 49 ම.ව, (2008), 10: 85-86
  • 50 රාජා, පි. 192
  • 51 ම.ව, (1996), 54: 39
  • 52 දීප, 20: 31-34
  • 53 රාජා, පි. 192
  • 54 පූජා, 33, පි 500
  • 55 ම.ව, (1996), 42: 147
  • 56 ම.ව, (1996), 51: 120-122
  • 57 සි.ධා.ව, පි. 503-511
  • 58 ම.ව, (1996), 49: 30
  • 59 ම.ව, (1996), 51: 120-122
ලංකාවේ උද්‍යාන සංකල්පය පැවතිය ද ඒ හා සම්බන්ධ සේවකයින් සේවයේ යෙදුනේ ද යන්න සොයාබැලීම වටනේය. ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවිමේදී ඒ සමඟ විවිධ කුලවලට අයත් පුද්ගලයින් පැමිණියහ. මේ කුල අතර උයන්ගොවූ කුල අටක් විය.60 මෙලෙස පැමිණි උද්‍යාන පාලන කුලයේ ප්‍රධානියා හට දේවානම්පියතිස්ස රජු ‘උයන්ගොවු වැදෑරුම්නා’ තනතුර දුන්නේ ය . ඔහුට තමාගේ පිරිස සමඟ මහාබෝධියට පූජා කිරීමට මල් ගස් සිටුවීමට මෙහිදී පැවරුණි.61 මෙයින් පෙනී යන්නේ දේවානම්පියතිස්ස රජ සමය වන විට පැවති උද්‍යාන පාලක නම් තනතුර විධිමත් ආකාරයෙන් මෙරට ස්ථාපිත වූ බව ය . පසුකාලීනව මෙම තනතුර ‘උයන් වැජෑරුම’ ලෙස නම් විය.62 මෙයින් පෙනී යන්නේ අනුරාධපුර යගන වන විට පැවති උද්‍යාන නිසියාකාරව පවත්වාගෙන යාම සඳහා වෙන ම සේවකයන් පවා යොදවා සිටි බව ය .

  • 60 සි.බෝ.ව, පි. 193
  • 61 සි.බෝ.ව, පි. 203
  • 62 EZ vol 3 p 256